Friday, 31 March 2017

වර්තමාන රූපවාහිනී නාලිකාවන්ගේ ක්‍රියාකාරිත්වය හා අනාගත පරපුර



                     



ජනමාධ්‍යය වූ කලී ජනයාගේ මාධ්‍යයි. ජනතාවගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සඳහා ජනමාධ්‍යය ඍජු ලෙස දායක වන බව නොරහසකි. ලොව පවත්නා ජනමාධ්‍යය අතුරින් රූපවාහිනියට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. වර්තමාන මිනිසාගේ ප්‍රබල සන්නිවේදන සහයකයකු බවට රූපවාහිනිය පත්ව තිබේ. වෝල්ටර් ලිප්මන් වරෙක ප්‍රකාශ කොට ඇත්තේ “ රූපවාහිනිය අපට ජීවත්වන හැටි, අකමැති දේ , අභිමානවත් වන හැටි, දියුණුවන හැටි , තෝරා ගන්නා හැටි ,ආදරය කරන හැටි උගන්වයි ” යනුවෙනි.

රූපවාහිනිය සන්නිවේදන මාධ්‍යයකි.කුමන හෝ සන්නිවේදන මාධ්‍යයක මුඛ්‍ය වූ සන්නිවේදන අරමුණු 04 ක් වෙයි. එනම්,
01- තොරතුරු සැපයීම
02- අධ්‍යාපනය ලබාදීම
03- විනෝදාස්වාදය ලබාදීම
04- යම් කාර්යයන් සදහා පෙළඹවීම යි.
                       
ලාංකීය රූපවාහිනියේ ආගමනය සිදු වූයේ ද ඉහත සදහන් කරන ලද අරමුණු 04 සඵල කර ගැනීම උදෙසාය. නමුදු නුතන රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සියුම්ව විමසා බලන විට ප්‍රත්‍යක්ෂ වන කරුණ නම් රූපවාහිනි මාධ්‍යය හුදු නිසරු විනෝදාස්වාදයක් කරා තම ප්‍රේක්ෂකයන් ගෙන යන බවයි. එමෙන්ම
01- මාධ්‍ය හිමිකාරිත්වය
02- දේශපාලන අධිකාරිත්වය
03- දැන්වීම්
   යන  අංගයන් නූතන රූපවාහිනී මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන හස්තයන් වේ.වර්තමානය වන විට ලාංකීය රූපවාහිනී නාලිකා සියල්ල ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ පා සිටී. සංස්කෘතිය, සදාචාරය ,කාලය යනාදී කිසිවක් පීළිබඳ නිසි අවබෝධයකින් තොරව රූපවාහිනි නාලිකා කටයුතු කරන බව කිව යුතුය. වර්තමානය වන විට රූපවාහින මාධ්‍ය ප්‍රේක්ෂක මනසට ගෙන දෙන්නේ පීඩාවකි.මන්ද යත් ප්‍රේක්ෂකයා නැරඹිය යුත්තේ කුමන වැඩසටහනද නැරඹිමෙන් වැළකිය යුත්තේ කුමන වැඩසටහනද යන්න රූපවාහිනී මාධ්‍යය විසින් බලෙන්ම ප්‍රේක්ෂකයාව පෙළඹවීම සිදු කරයි. රූපවාහිනී මාධ්‍යය දෙනු ලබන්නේ කුමක්ද එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රේක්ෂකයා නැරඹිය යුතුය. උදාහරණයක් ලෙස වැදගත්කොට සලකනුයේ ප්‍රේක්ෂකයාගේ දේශපාලන මතය නොව මාධ්‍ය හිමිකාරිත්වයේ දේශපාලන මතයයි.
                     
                 වර්තමානය වන විට රූපවාහිනිය යනු කලාවක්  නොව කර්මාන්තයකි. සෑම මොහොතකම ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාකරන ආකාරයක් දක්නට ලැබේ. ලාභය මූලික කර ගනිමින් නිසරු වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එමින් ප්‍රේක්ෂකයා ද සිහින ලොවක අතරමං කර තිබේ. දැන්වීම් මත යැපෙන මාධ්‍ය සංස්කෘතියක් රූපවාහිනි නාලිකා වටා ගොඩ නැගී තිබෙන අතර  රූපවාහිනි මාධ්‍ය තුළ කළු සල්ලි සංසරණය වීමේ ප්‍රවණතාවය වැඩිය.   එක්  රූපවාහිනි නාලිකාවක විකාශනය වන ජනප්‍රිය වැඩසටහන් අනුකරණය කිරීම ද අද රූපවාහිනී නාලිකා ක්‍රියාකාරිත්වයේ දී  දැකිය හැකි තවත් ප්‍රවණතාවකි.
                      වර්තමානය වන විට රූපවාහිනී ක්‍රියාකාරීත්වය මගින් මිනිස් ප්‍රජාව වෙත ගෙන යා හැකි මාන හා යථාර්ථවාදී බලපෑම අතිමහත්ය.   නමුත් බොහෝ බොහෝ දුරට සිදුවන්නේ අනාගත පරපුර වෙත මුදලට විකිණි යන තරු පිළිබඳ සිහින පවරා දෙමින් ඔවුන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් සිහි බුද්ධියත් නැති කිරීමයි.මේ වන විට කරන ලද පර්යේෂණවලට අනුව 75%ක ප්‍රතිශතයක් රූපවාහිනී ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන අනාගත පරපුර ප්‍රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ඇති බව අනාවරණය වී ඇත.

                  රූපවාහිනිය විසින් සන්නිවේදන මාධ්‍යයක අරමුණු  අමතක කොට කටයුතු කරන බැවින් අනාගත පරපුර බොළඳ ආශාවන් කෙරෙහි යොමු කිරීමට අද රූපවාහිනයේ ඇතැම් වැඩසටහන් හේතු වී ඇති බව නොරහසකි. වරෙක දකුණු  අප්‍රිකාවේ තැපැල් සහ විදුලි සන්දේශ අමාත්‍යවරයාව සිටි ආචාර්ය ඇල්බට් ස්මිත් මහතා “ යකාගේ පෙට්ටිය ” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද්දේ ද එම හේතුව නිසාය.හෙතෙම වැඩි දුරටත් දැක්වූ කරුණ නම් රූපවාහිනිය රකුසකු ලෙස අනාගත පරපුර බිලි ගන්නා බවයි.
       
නූතන රූපපෙට්ටියේ  ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන මිනිසා යථාර්තයෙන් ඈත්කොට ඇත . දිනකට වැඩි කාලයක් නීරස ටෙලිනාට්‍යය වලට කොටු වී කාලය ගත කරන බව නොරහසකි. තමාට නොදැනීම තමා රූපවාහිනියේ අතකොළුවක් බවට පත්ව ඇතිබව අපට වටහා ගැනීමට රූපවාහිනිය කිසිවිටෙකත් ඉඩ නොතබන බවනම් සහතිකය.

                            එබැවින් සිදු විය යුත්තේ අනාගත පරපුරේ යහපත උදෙසා රූපවාහිනියේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු කිරීමයි. එබැවින් රූපවාහිනිය අනාගත පරපුර වෙත ප්‍රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කළ යුතු කාලය වර්තමානය තුළ උදා වී ඇත.  ප්‍රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමටනම් මූලික වශයෙන් ම මාධ්‍යය පිළිබඳ පෘථුල දැනුමක් පවතින්නා වූ මාධ්‍යය ඇසුරින් යම් යම් සමාජ ප්‍රගමනයක් ඇතිකළ හැකි තත්වයෙහි පුද්ගලයන් වැඩ සටහන් පාලකයින් ලෙස තෝරා පත් කරගත යුතුව ඇත. නූතනයේ රූපවාහිනිය වටා ගොඩනැගී ඇති සංස්කෘතිය තුළ අධ්‍යයක්ෂකවරු, නිශ්පාදකවරු මුදලට විකිණෙන ක්‍රියාවලිය තුළ අනාගත පරපුරට සුභ ලකුණු දැකගත නොහැකි වේ.

            එලෙසම වර්තමානයේ දී බොහෝ නිවේදක නිවේදිකාවන් ස්වකීය කාර්යය කුමක්ද යන්න පිළිබඳ කිසිඳු වැටහීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරයි.තමාගේ කටට එන ඕනෑම දෙයක් කියවාගෙන යයි. නිවේදක නිවේදිකාවන් ඉදිරිපත්කරනු ලබන සංදේශ පිළිබඳ මනා වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අත්‍යයවශ්‍යය.

ඉතාලියේ රූපවාහිනී මගින් ඉදිරිපත් කරනු ලැබූ It's never too late (ඉට්ස් නෙවර් ටු ලේට්) නම් වැඩසටහන ඉතා කෙටි කලකදී ඉතාලි ජනතාවට ලිවීමේ හා කියවීමේ හැකියාව ලබාදුන් බැව් සඳහන් වේ. එමෙන්ම කෝටි 85 වූ චීන ජනතාවට පුහුණු අධ්‍යාපනවේදීන් හිඟකම මගහැර ගන්නා ලද්දේ රූපවාහිනී භාවිතය නිසාය.ඒ අනුව රූපවාහිනී මාධ්‍යයට කළ නොහැක්කේ කුමක්ද? එබැවින් බුද්ධිය වර්ධනය කරගනු වස්, නැණැස් දල්වාගනු පිණිස රූපවාහිනී වැඩසටහන් ක්‍රියාත්මක වීම තුළින් අනාගත පරපුරෙහි අභිවෘද්ධියට හේතු වේ.

                                                                                                           ඉරේෂා නදීශානී 
සමාජ ජාල වෙබි අඩවි හා ඒවායෙහි සමාජ බලපෑම



අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් හෙවත් මුහුණු පොත හැඳින්විය හැකිය. ෆේස්බුක් හැරුණු විට එවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් ම ෆේස් බුක් නිර්මාණයෙන් පසුව බිහි විය. ශ්‍රී ලාංකික සමාජ සංදර්භය වෙතින් ඉතාම මෑතක පැනනැගුණු සිදුවීම් ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ. සමාජ ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින්  සමාජ ජාල වෙබ් අඩවි හා ඒවායෙහි සමාජ බලපෑම් පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ. 


ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය ( The American Academy of Pediatrics) විසින් ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල "Pediatrics"නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍යය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප්‍රවේශය පහසුවී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පරම්පරාව නවීන තාක්ෂණයෙන් යුක්ත දුරකථන සහ වෙනත් විද්යුත් උපාංග භාවිතයට නැඹුරුවී ඇත. එබැවින් දිනකට සමාජ ජාල වෙබ් අඩවිවලට ප්‍රවේශ වන නව යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉහත දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇත. මෙම ප්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ඇත.

සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. 
විවිධ සමාජ හා වෙළෙඳ සංවිධාන, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, ග්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විද්වතුන් ද ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඉතාම අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවුඩය හෝ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම විශාල ග්‍රාහකයන් පිරිසක් අතරට රැගෙන යාම පහසු කර වන බැවින් ඔවුහු සමාජ ජාල වෙබ් අඩවි වෙත වැඩි වැඩියෙන් නැඹුරුවී ඇත. මේ අනුව බලන විට සමාජ ජාල යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝු වන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජයට කරන බලපෑම උග්‍ර කර ඇත.

විශේෂයෙන්ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවිය මඟින් සිදු වෙන නිශේධනීය බලපෑම වැඩිය. තමන් නොදන්නා අය සිය යහලූවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆෙස් බුක් හෝ වෙනත් සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.

කාර්යබහුල ජීවිත ගත කරමින් මුදල් සහ සමාජ තත්ත්ව පසුපස හඹා යන බහුතරයකින් සමන්විත වර්තමාන වැඩිහිටි පරම්පරාවකින් දරුවන්ට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සහ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුවුවත් දරුවන්ට අත්‍යවශ්‍ය නිසි රැකවරණය සැපයෙන්නේ නැත. අනෙක් අතට දරුවන්ට පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම සිය සමාජ ජීවිතයේ ඒකායන පරමාර්ථය ලෙස සලකන දෙමව්පියෝ දහම් පාසල් අධ්‍යාපනය, පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ , යෞවන සමාජ කටයුතු සහ සර්වෝදය වැනි සමාජ අධ්‍යාපන ආයතන සහ වැඩසටහන් වෙත සිය දරුවන් යොමු කිරීමට මැලිකමක් දක්වති.

දරුවන් එවැනි ආයතන සහ වැඩසටහන් වෙත යොමු වන්නේ නම් එක් අතකින් ඔවුන්ට අවශ්‍යය කරන සමාජ ජාලය එකී වැඩසටහන්වලදී හමු වෙන සම වයස් මිතුරු මිතුරියන් ඇසුරින් ගොඩනගා ගැනීමට හැකි වනු ඇත. අනෙක් අතට සමාජය පිළිබඳ අත්දැකීම්, ක්‍රමානුකූලව, වයසට ගැලපෙන ආකාරයට, හික්මීමක් ඇතුව ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත. 

මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් සිය දරුවන්ගේ හොඳම සහ ළඟම මිතුරන් වශයෙන් කටයුතු කළ යුතුය. එවිට දෙපාර්ශවයටම වැරදි චර්යාවන්හි නිරතවීමට ඉඩක් නොලැබේ. අන්‍යෝනය වාරණයක් නිරායාසයෙන්ම ගොඩ නැගේ. දෙමව්පියන් සහ වැඩිහිටියන් මෙන්ම ගුරුවරු ද දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සිය ළමා හා තරුණ කාලය අමතක නොකළ යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ඇසින් සහ මනසින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. එහෙත් එකී තේරුම් ගැනීම වැඩිහිටි බුද්ධිය සහ අත්දැකීම් සමඟ ගලපමින් වර්තමානයට අදාළ කර ගනිමින් ළමා සහ තරුණ ක්‍රියාකාරකම්වල සාධනීය සහ නිශේධනීය බලපෑම් පිළිබඳ විග්‍රහයක නිරතවීම අවශ්‍ය වේ. එසේ කිරීමෙන් ඇති වන අවබෝධය මිතුරු සහ ළෙංගතු ආකාරයට තරුණ සහ ළමා පුරපුරට තේරුම් කර දීමට තරම් වැඩිහිටියන් තුළ නම්‍යශීලීත්වයක් තිබිය යුතුය.

එහෙත් නවීන තාක්ෂණික උපාංග පිළිබඳ තරුණ පරම්පරාව සතු දැනුමට සාපේක්ෂව වැඩිහිටියන් සතු දැනුම අඩුය. මේ හේතුව නිසා ළමා සහ තරුණ පරම්පරාව තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කරන කියන දෑ නිවැරදිව අධීක්ෂණයට බොහෝ වැඩිහිටියෝ අසමත්ය. පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳව දැනුම්වත් වීමට සාපේක්ෂව සිය දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව උදම්වීමට සහ ඒ පිළිබඳව උදම් ඇනීමට බොහෝ දෙමව්පියෝ පුරුදුවී සිටිති. නිදසුන් ලෙස කුඩා දරුවන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවී සිටීම ගැන ඇතැම් දෙමව්පියෝ සතුටු වෙති. 


ෆෙස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු වන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්ත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදාගෙන වෙනත් තැනැත්තකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු දෙයක් බවට පත්වීමයි. පෙර සඳහන් කළ පරිදි අනෝමීය සමාජ අවකාශය තුළ ජීවත් වන සමාජ ආචාරධර්ම, සිරිත් විරිත් නොතකන ජන සමාජයක් වෙතින්  ' Cyberbullying ' නිරන්තරව සිදු විය හැකි අන්තර්ජාල වරදක් වනු ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරි සරන්නන්  මානසික රෝගයට පවා ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය ග්වෙන් ඕකීප්ෆෙ ( Dr' Gwenn O'Keeffe ) පෙන්වා දී ඇත. මෙය  සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. ගෝලීයකරණ ප්‍රවාහය අපට නවතාලිය නොහැකිය. එය නැවැත්විය යුතු ද නැත. එහෙත් එයට ශක්තිමත්ව මුහුණදීමට හැකි වන පරිදි අක් මුල් සහිත නැණවත්, ගුණවත් තරුණ පම්පරාවක් අපි බිහි කර ගත යුත්තෙමු.

                                                                                                       ඉරේෂා නදීශානි

කුසගින්න