Wednesday, 26 July 2017

රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය


               
               
              
               රුසියානු ලේඛකයකු වන අලෙක්සැනදර් සිනොවි යෙෆ්ගේ The Russiam Tragedy ;The Death of a Utopia නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නම් කෘතිය රුසියානු බසින් සිංහලයට නගා ඇත්තේ ලේඛක එච්. ජයරත්න විසිනි.

 ලොව ප්‍රබල සමාජවාදී රාජ්‍යයක්ව පැවති සෝවියට් දේශයේ බිඳ වැටීම පිළිබඳව රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නම් පරිවර්තනය තුළින් කියැවේ. රුසියානු දේශපාලන පෙරළියේ ගොදුරු බවට පත්වූ කෝටි සංඛ්‍යාත පවුල් අතරින් එක් පවුලක් හරහා සියළු දෙනාටම  අත්වූ ඉරණම සමාජ විද්‍යාත්මකව විග්‍රහ කිරීම මෙම පරිවර්තය තුළින් සිදු වේ.  ඒ අතර ප්‍රබල ලෙස දැක්වෙන විවේචකයකුද මෙම ග්‍රන්ථය තුළ  අපට මුණගස්වයි.

සෝවියට් දේශය බිඳ වැටුණේ ඇයි? මෙය යළි ගොඩනැගිය නොහැකිද යන්න පිළිබඳව ලොව බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ කරුණු රැසකට පිළිතුරු සපයන රුසියානු ශෝකාන්තය පිය පුතු දෙදෙනකු අතර වන සංවාදයක් ලෙසත්, අතරමගදී මුණගස්වන විවේචකයකුගේ අදහස් වලින් යුතු ලිපි එකතුවක් ලෙසත් සැලකිය හැකිය. නවකතාවක් ලෙස හැඳින්වුවද මෙහි අඛණ්ඩව ගලා යන චරිත දක්නට නැත. පොදුවේ සලකන විට දේශපාලනමය, සමාජ විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකිය.

The Russiam Tragedy ;The Death of a Utopia එදචස්  නම් රුසියානු කෘතියේ කර්තෘ අලෙක්සන්දාර් සිනොවියෙෆ් සම්බන්ධවද පැහැදිලි කිරීමක් කරන පරිවර්තකයා, කතුවරයා මුල්වරට 1976දී මුදුනෝ ඈනුම් අරිතිනමින් කෘතියක් පළකර ඇති බව පවසයි. සිනොචියෙෆ් සෝවියට් විරෝධී ලේඛකයකු මෙන්ම ප්‍රකට තර්ක ශාස්ත්‍රඥයෙක්ද වේ. ස්ටාලින්ගේ පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළ ඔහු පසුව රටින් පලායයි. එසේ වුවද සෝවියට් දේශය බිඳ වැටීම රුසියානු ජනතාවගේ අභාග්‍යයක් ලෙසද ඔහු දකියි.

රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය පරිවර්තය තුළ   උතෝපියාවේ අභාවය යනු කවරක්දැයි කරන විග්‍රහයක මෙසේ දැක්වෙයි.
සියලූ පුරවැසියන් එක හා සමාන, දුප්පත් පොහොසත් භේදවලින් තොර සියලූ සෞභාග්‍යයෙන් සම්පූර්ණ වූ උතෝපියා නම් දූපතක් පිළිබඳව තෝමස් මුචර් ස්වකීය ග්‍රන්ථයක සඳහන් කොට ඇත. එම දූපත ආදර්ශයට ගෙන අනෙක් රටවලද පරමාදර්ශී පාලනයක් ස්ථාපිත කළ යුතු බව එමගින් ඔහු ලොවට කියා පෑවේය. ඔහුගේ උතෝපියාව මිහිබට සුරලොවකි. හෙවත් කේතුමතී රාජ්‍යයකි. ඒ උතෝපියාව සෝවියට් දේශයේ ගොඩ නගා තිබූ බවත්, සෝවියට් දේශය බිඳවැටීම නිසා උතෝපියාව අභාවයට ගිය බවත් රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය යන්නෙන් අදහස් වෙයි.” (පිටුව 10)

සෝවියට් දේශය බිඳ වැටීමට පෙර උතෝපියාවේ පැවති  තත්ත්වය කවරේදැයි ඒ විස්තරය අපට අඟවයි. ප්‍රබල සමාජවාදී රාජ්‍යයක්ව තිබූ රුසියානු රාජ්‍ය බිඳ වැටීම සමස්ත ලෝවැසියන්ගේ අවධානයට ලක්වූ කරුණක් මෙන්ම අදද අවධානයට ලක්වෙමින් පවතී. එසේ වීමට හේතුවූ කරුණු රැසක් කෙරෙහි කතුවරයාගේ අවධානයට ලක්වේ. එහි ප්‍රධාන කරුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් හා ඔවුන්ගේ ඔත්තු සේවාවන් විසින් සෝවියට් දේශයට විරුද්ධව ගෙන යන ලද විනාශකාරී වැඩපිළිවෙළ, සෝවියට් ප්‍රධානීන්ගේ දුර්වලකම් හා සාමාජික සමූහාණ්ඩුවල පාලකයන්ගේ ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් වෙනුවෙන් මධ්‍යගත පාලනයෙන් බිඳීයාමට ගත් උත්සාහයන්, ඒ සඳහා ගර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයෝජනයට ගැනීම, බහුජාතික රාජ්‍යයක් වූ සෝවියට් දේශය තුළ බෙදුම්වාදය ඉස්මතුවීම, නිබඳව දැකිය හැකිවූ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, චෙර්නොබිල් ඛේදවාචකය, ගෑස් නළ පිපිරීම්, ගුවන් යානා අනතුරු, සබ්මැරීන් අනතුරු වැනි ඛේදවාචකයන් පිළිබඳ තොරතුරු සැඟවීමෙන් මහජනයාගේ අප්‍රසාදය ලියලා යෑම වැනි කරුණු ඒ අතර වූ බව පැහැදිලිව දක්වා ඇති බව පෙනේ.

සෝවියට් දේශය බිඳ වැටීමට හේතුවූ කරුණු විස්තර කරන කතුවරයා සෝවියට් බිඳ වැටීම් සිද්ධි මාලාව පිළිබඳවද විස්තරයක් කරයි. 1985 වසරේදී ගර්බචොෆ් විසින් පෙරෙස්ත්‍රොයිකා ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම රටේ දේශපාලන ජීවිතය තුළ විශාල පිබිදීමක් ඇතිවිය. විවිධාකාර ජනතා සංවිධාන හා විශේෂයෙන් රැඩිකල් දේශපාලන ව්‍යාපාර හා සංවිධාන බිහිවන්නට පටන් ගත්තේය. 1989-91 කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල උග්‍ර හිඟයක් ඇතිවිය. පාන් හැර අන් සියලූම භාණ්ඩ පාහේ සලාක ක්‍රමයට බෙදාදීම ආරම්භ විය.
වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවීමේ ගර්බචොෆ් ප්‍රතිපත්තිය මත සමාජවාදී කඳවුර බිඳ වැටෙයි. එම රටවල කොමියුනිස්ට් ආණ්ඩු ද බිඳ වැටෙයි. චෙකොස් ලෝවැකියාව 1989 දීද, පෝලන්තය 1990 දීද , රුමේනියාව 1989 දීද, නැගෙනහිර ජර්මනිය 1990දීද , බල්ගේරියාව 1989දී ආදි වශයෙන් බිඳවැටීම සිදුවිය

සීතල යුද්ධය, පෙරිස්ත්‍රොයිකා ව්‍යාපාරය, යකඩ තිරය ගැලවීම, පශ්චාත් කොමියුනිස්ට් ක්‍රමයේ ප්‍රකට ලක්ෂණ, රුසියානු කොමියුනිස්ට් වාදය, රුසියාව යළි ගොඩ නැගූ හැටි, ගෝලීයකරණයේ මතවාද, වර්තමාන ලෝක භූ දේශපාලනය හා ගෝලීයකරණය ආදි අනුමාතෘකා රැසක් ඔස්සේ දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත. එපමණක්ද නොව පුටින්ගේ පාලනය සම්බන්ධවද කතාබහ කරන මෙහි යළි සෝවියට් දේශය ගොඩනැගීමට ඇති ඉඩකඩ පිළිබඳවද සාකච්ඡා කිරීමට ඉඩ වැය කරයි.
ලෙනින්, ස්ටාලින්, නිකීතා කෘෂේෆ්, බ්රෙවෂ්නෙෆ්, ගර්බචොෆ් හා පුටින් යන පාලකයන්ගේ පාලන ස්වරූපයන්, ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගත්, ඉන් සිදුවූ යහපත් අයහපත් ප්‍රතිඵල පිළිබඳවත් ගැඹුරින් විග්‍රහ කිරීමට කතුවරයා සමත් වෙයි. එම කරුණු සිංහල පාඨකයාට මනා ලෙස අවබෝධ කරගැනීමට පහසු ලෙස ඉදිරිපත් කිරීමට පරිවර්තක ජයරත්න ගෙන ඇති මහන්සිය මෙහි අග්‍රඵලයයි.
සෝවියට් සමාජවාදී රාජ්‍යය පිළිබඳව යහපත් දැක්මකින් පසුවූ කවරකුට මෙන්ම දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන කවරකුට වුවද දැනුමක් අවබෝධයක් ලබාගැනීමට රුසියානු ශෝකාන්තය අත්වැලක් මෙනි. සාමාන්‍ය රුසියානු නවකතාවකට පරිබාහිරව රුසියානු සාහිත්‍යයට අයත් අංගයක් කෙළින්ම සිංහලයට පරිවර්තනය කළ ප්‍රථම අවස්ථාවක් ලෙසද මෙහි සඳහන් වේ. ඒ සඳහා සරල සුගම බස් වහරක් අනුගමනය කිරීමෙන් පැහැදිලිවන්නේ පරිවර්තකයා සතු රුසියානු-සිංහල දෙබස පිළිබඳව ඇති දැනුමයි.

සෝවියට් නායකයන් වූ ලෙනින්, ස්ටාලින්, නිකිතා කෘෂෙෆ්, ලියොනිඩ් බ්රෙසෂ්නෙෆ්, යුරි අන්ද්රෝට පොෆ්, මිහයිල් ගොර්බචොෆ් ආදීන්ගේ ඡායාරූප පෙළක් එකතු කර ඇති අතර ඔවුන්ගේ ජීව දත්ත හා ඔවුන්ගේ පාලන කාල සීමා පවා සඳහන් කර තිබීම අගනේය. පරිවර්තකයා සරල බස් වහරක් අනුගමනය කරයි. එමෙන්ම අන්තර්ගතයේ සැකමුසු හා විස්තරාත්මකව දැනගැනීමට අවශ්‍යය අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් උපග්‍රන්ථයක්ද එකතු කර තිබීම ඇගයිය යුතු කරුණකි.

වාමාංශික දේශපාලනය මෙන්ම වර්තමාන ලෝක දේශපාලනය පිළිබඳවද උනන්දුවක් දක්වන කවරකුට වුවද කියවිය යුතු කොමියුනිස්ට් සමාජය හා මාක්ස්වාදය පිළිබඳව අත්පොතක් ලෙසද, මෙය හැදින්විය හැකිය. ආණ්ඩුවක් නිසා ජනතාව විඳින අපහසුතා මෙන්ම  ජනතාවගේ යහපත වෙනුවෙන් ආණ්ඩුවකට බොහෝ දේ කළ හැකි බවද රුසියානු ශෝකාන්තය අපට කියාදෙයි.

කුසගින්න