ජනමාධ්‍යය වූ කලී ජනයාගේ මාධ්‍යයි. ජනතාවගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සඳහා ජනමාධ්‍යය ඍජු ලෙස දායක වන බව නොරහසකි. ලොව පවත්නා ජනමාධ්‍යය අතුරින් රූපවාහිනියට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. වර්තමාන මිනිසාගේ ප්‍රබල සන්නිවේදන සහයකයකු බවට රූපවාහිනිය පත්ව තිබේ. වෝල්ටර් ලිප්මන් වරෙක ප්‍රකාශ කොට ඇත්තේ “ රූපවාහිනිය අපට ජීවත්වන හැටි, අකමැති දේ , අභිමානවත් වන හැටි, දියුණුවන හැටි , තෝරා ගන්නා හැටි ,ආදරය කරන හැටි උගන්වයි ” යනුවෙනි.
රූපවාහිනිය සන්නිවේදන මාධ්‍යයකි.කුමන හෝ සන්නිවේදන මාධ්‍යයක මුඛ්‍ය වූ සන්නිවේදන අරමුණු 04 ක් වෙයි. එනම්,
01- තොරතුරු සැපයීම02- අධ්‍යාපනය ලබාදීම
03- විනෝදාස්වාදය ලබාදීම
04- යම් කාර්යයන් සදහා පෙළඹවීම යි.
ලාංකීය රූපවාහිනියේ ආගමනය සිදු වූයේ ද ඉහත සදහන් කරන ලද අරමුණු 04 සඵල කර ගැනීම උදෙසාය. නමුදු නුතන රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සියුම්ව විමසා බලන විට ප්රත්යක්ෂ වන කරුණ නම් රූපවාහිනි මාධ්‍යය හුදු නිසරු විනෝදාස්වාදයක් කරා තම ප්‍රේක්ෂකයන් ගෙන යන බවයි. එමෙන්ම
01- මාධ්‍ය හිමිකාරිත්වය02- දේශපාලන අධිකාරිත්වය
03- දැන්වීම්
යන අංගයන් නූතන රූපවාහිනී මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන හස්තයන් වේ.වර්තමානය වන විට ලාංකීය රූපවාහිනී නාලිකා සියල්ල ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ පා සිටී. සංස්කෘතිය, සදාචාරය ,කාලය යනාදී කිසිවක් පීළිබඳ නිසි අවබෝධයකින් තොරව රූපවාහිනි නාලිකා කටයුතු කරන බව කිව යුතුය. වර්තමානය වන විට රූපවාහින මාධ්‍ය ප්‍රේක්ෂක මනසට ගෙන දෙන්නේ පීඩාවකි.මන්ද යත් ප්‍රේක්ෂකයා නැරඹිය යුත්තේ කුමන වැඩසටහනද නැරඹිමෙන් වැළකිය යුත්තේ කුමන වැඩසටහනද යන්න රූපවාහිනී මාධ්‍යය විසින් බලෙන්ම ප්‍රේක්ෂකයාව පෙළඹවීම සිදු කරයි. රූපවාහිනී මාධ්‍යය දෙනු ලබන්නේ කුමක්ද එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රේක්ෂකයා නැරඹිය යුතුය. උදාහරණයක් ලෙස වැදගත්කොට සලකනුයේ ප්‍රේක්ෂකයාගේ දේශපාලන මතය නොව මාධ්‍ය හිමිකාරිත්වයේ දේශපාලන මතයයි.
වර්තමානය වන විට රූපවාහිනිය යනු කලාවක් නොව කර්මාන්තයකි. සෑම මොහොතකම ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාකරන ආකාරයක් දක්නට ලැබේ. ලාභය මූලික කර ගනිමින් නිසරු වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එමින් ප්‍රේක්ෂකයා ද සිහින ලොවක අතරමං කර තිබේ. දැන්වීම් මත යැපෙන මාධ්‍ය සංස්කෘතියක් රූපවාහිනි නාලිකා වටා ගොඩ නැගී තිබෙන අතර රූපවාහිනි මාධ්‍ය තුළ කළු සල්ලි සංසරණය වීමේ ප්‍රවණතාවය වැඩිය. එක් රූපවාහිනි නාලිකාවක විකාශනය වන ජනප්‍රිය වැඩසටහන් අනුකරණය කිරීම ද අද රූපවාහිනී නාලිකා ක්‍රියාකාරිත්වයේ දී දැකිය හැකි තවත් ප්රවණතාවකි.
වර්තමානය වන විට රූපවාහිනී ක්‍රියාකාරීත්වය මගින් මිනිස් ප්‍රජාව වෙත ගෙන යා හැකි මාන හා යථාර්ථවාදී බලපෑම අතිමහත්ය. නමුත් බොහෝ බොහෝ දුරට සිදුවන්නේ අනාගත පරපුර වෙත මුදලට විකිණි යන තරු පිළිබඳ සිහින පවරා දෙමින් ඔවුන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් සිහි බුද්ධියත් නැති කිරීමයි.මේ වන විට කරන ලද පර්යේෂණවලට අනුව 75%ක ප්‍රතිශතයක් රූපවාහිනී ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන අනාගත පරපුර ප්රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ඇති බව අනාවරණය වී ඇත.
රූපවාහිනිය විසින් සන්නිවේදන මාධ්‍යයක අරමුණු අමතක කොට කටයුතු කරන බැවින් අනාගත පරපුර බොළඳ ආශාවන් කෙරෙහි යොමු කිරීමට අද රූපවාහිනයේ ඇතැම් වැඩසටහන් හේතු වී ඇති බව නොරහසකි. වරෙක දකුණු අප්‍රිකාවේ තැපැල් සහ විදුලි සන්දේශ අමාත්‍යවරයාව සිටි ආචාර්ය ඇල්බට් ස්මිත් මහතා “ යකාගේ පෙට්ටිය ” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද්දේ ද එම හේතුව නිසාය.හෙතෙම වැඩි දුරටත් දැක්වූ කරුණ නම් රූපවාහිනිය රකුසකු ලෙස අනාගත පරපුර බිලි ගන්නා බවයි.
නූතන රූපපෙට්ටියේ ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන මිනිසා යථාර්තයෙන් ඈත්කොට ඇත . දිනකට වැඩි කාලයක් නීරස ටෙලිනාට්‍යය වලට කොටු වී කාලය ගත කරන බව නොරහසකි. තමාට නොදැනීම තමා රූපවාහිනියේ අතකොළුවක් බවට පත්ව ඇතිබව අපට වටහා ගැනීමට රූපවාහිනිය කිසිවිටෙකත් ඉඩ නොතබන බවනම් සහතිකය.
එබැවින් සිදු විය යුත්තේ අනාගත පරපුරේ යහපත උදෙසා රූපවාහිනියේ ක්රියාකාරීත්වයේ වෙනසක් සිදු කිරීමයි. එබැවින් රූපවාහිනිය අනාගත පරපුර වෙත ප්රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කළ යුතු කාලය වර්තමානය තුළ උදා වී ඇත. ප්රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමටනම් මූලික වශයෙන් ම මාධ්‍යය පිළිබඳ පෘථුල දැනුමක් පවතින්නා වූ මාධ්‍යය ඇසුරින් යම් යම් සමාජ ප්රගමනයක් ඇතිකළ හැකි තත්වයෙහි පුද්ගලයන් වැඩ සටහන් පාලකයින් ලෙස තෝරා පත් කරගත යුතුව ඇත. නූතනයේ රූපවාහිනිය වටා ගොඩනැගී ඇති සංස්කෘතිය තුළ අධ්‍යයක්ෂකවරු, නිශ්පාදකවරු මුදලට විකිණෙන ක්‍රියාවලිය තුළ අනාගත පරපුරට සුභ ලකුණු දැකගත නොහැකි වේ.
එලෙසම වර්තමානයේ දී බොහෝ නිවේදක නිවේදිකාවන් ස්වකීය කාර්යය කුමක්ද යන්න පිළිබඳ කිසිඳු වැටහීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරයි.තමාගේ කටට එන ඕනෑම දෙයක් කියවාගෙන යයි. නිවේදක නිවේදිකාවන් ඉදිරිපත්කරනු ලබන සංදේශ පිළිබඳ මනා වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අත්‍යයවශ්‍යය.
ඉරේෂා නදීශානී