Sunday, 14 May 2017

ජන කවිය හා ජන සමාජය



කවිය අප රටේ ඉතා ජනප්‍රිය ජනශ්‍රැතික අංගයක්. අප අතර දැනට භාවිත වන ජනකවිවල ආරම්භය කවදා කෙසේ ඇති වූවක්‌ දැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකියි.   සිංහල කවියේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යන්නේ පොත පතේ ලේඛන ගතව ආ ශාස්‌ත්‍රීය කවියට වඩා කටින් කට ජනශ්‍රැතියේ ආ ජනකවිය පුරාණවන බවයි .ජනකවියේ බිහි වීම පිටිසර පාරම්පරික ගැමියන්ගේ මුඛ වහරෙන් සිදුව ඇති බව දැනට පිළිගෙන ඇති මතයයි.
ජන කවිය ගැමි කලාංගයකි.  ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් ජන කවිය තුළින් පිළිබිඹු වේ. හුදෙක්‌ දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමෙන්  කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසත් ගැමියන් විසින සාමූහිකව හෝ තනිව ජන කවි ගායනා කරන ලදි.
ජන කවිය බිහි වීමට බලපාන ප්‍රධාන සාධතය වන්නේ ගැමියා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් නිසා ජන කවිය තුළින් නිරෑපණය වන්නේ  සිංහල ජන ජීවිතයේ සංස්කෘතියයි.  
ඉර, හඳ, ගස් ,ගල්, ජලය, ගින්න දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි. සිංහල ජන සමාජයේ පවතින දේව වන්දනය ජන කවිය තුළින් ඉස්මතු වන අවස්ථාවකි මේ.

ඉරුට වැදලා ඉරුදෙවි අවසර                         ගත්තෙමි
සඳුට වැදලා සඳුදෙවි අවසර                           ගත්තෙමි
පොළොවට වැදලා මිහිකත අවසර               ගත්තෙමි
ගොයමට වැදලා නෙළුමට අවසර                  ගත්තෙමි

අතීත සිංහල ජන සමාජය තුළ කුල ක්‍රමය සමාජ තීරක සාධකයක් බවට පත් විය. තම කුලයට අයත්ව මිස පහත් කුලයන්හි කාන්තාවන් විවාහ කර නොගැනීම අතීත සංස්කෘතියයි. ජන කවියා ඒ බව සමාජ ගත කරන්නේ මේ ආකාරයටයි.
 
පල්ලව පඩත්තරු මුක්වරු ද      පරවරු
ඊවරුදුරා පදු කෙව්ලන් හා         හකුරු
බෙරවා රදා ඔලිකිනින්නරු ද     පුරවරු
මින් මිස තොපේ ලිය අරගන්නේ කවුරු

සමාජයක පැවැත්ම උදෙසා ලිංගික ප්‍රජනන කාර්යය වැදගත් වේ. අතීත සමාජයේ පවුල නමැති සම්මතය තුළ විවාහය ලෙස සලකන ලද්දේ ඇවැස්ස නෑකම මත සිදු වූ විවාහය යි. ඒ සඳහා ජන සමාජය තුළ යම් නීත්‍යනුකූල බවක් සමාජ පිළිගැනිම තුළින් ස්ථාපිතව තිබුණි. මේ නිසා නෑනාගේ අයිතිය මස්සිනාට පැවරෙන බව  අතීත සමාජයේ ප්‍රබල මතයක් හටගෙන තිබුණා. ඒ බව ජන කවියා පවසන්නේ මෙසේය.

වැසි දිය අයිති ගං හෝ ඇළ                    සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන                 බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ                           වැද්දාටයි
නෑනා අයිති කාට ද                             මස්සිනාටයි

අතීත සමාජය තුළ විවාහ ක්‍රම කීපයක් තිබුණි. ඒ අතරින් බින්න විවාහ  ක්‍රමය අනුව පුරුෂයා මනමාලියගේ ගෙදර පදිංචියට පැමිණේ. මේ ක්‍රමය දේපළ පාලනය කිරීමේ අවශ්‍ය තත්ත්වය නිසා, ඇතිවූවකි. එසේ වුවත් බින්න විවාහය ස්‌ත්‍රියට යටත්වීමේ ක්‍රමයකැයි සලකන පහත රට ජනයා එය ආත්ම ගෞරවයෙන් යුත් තරුණයෙකුට තරම් නොවෙතැයි හෙළාදකී. එසේ විවාහ වූ තැනැත්තා නැන්දනියගේ යටතේ සිටිය යුතුය. මෙය තවත් ප්‍රශ්නයකට තුඩු දෙන කාරණයකි. බින්න විවාහයක්‌ කරගන්නා තැනැත්තා විඳවන අයුරු ජන කවියා මෙලෙස දක්වයි.

අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට
බින්න මඟුලකට බහදී මෙමා       හට
සැමියා ලෙසට උනි අඹුවත් එදා     සිට
උපන් රටට යැමට දැන් සිතෙයි      මට

රැය පුරා පතල් දෝනා තුළ අපමණ වෙහෙස වී වැඩ කරන ගැමියන්ට රාති‍්‍රය ඉතා දිගු වූවක් ලෙස පෙනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළිබඳ අපේක්‍ෂා ඔවුන්ගේ සිත් තුළ ලියලන්නේ එබැවිනි. එහෙත් හිරු පායන්නට පමා වීම ඔවුන්ගේ නොමනාපයට හේතු වූ අයුරු ජන කවියා ව්‍යංගයාර්ථවත් ව පළ කරන්නේ මෙසේ ය.
 

සූරිය සුනෙර වට දෙවරක්          ගියාදෝ
සූරිය යනෙන රත ඇණ       ඉගිලුණාදෝ
වීරිය කරන රාහුට අසු             වුණාදෝ
සූරිය උදා නූනේ එම නිසා                දෝ

එම සමාජය තුළ ජීවත් වූ පතල් රැකියාව කරන ගැමියන්ගේ ජීවිත පිළිබඳ ඉස්මතු කරන ජන කවියකි. බලවත් දුක් කම්කටොලු උසුලමින් ගැමියා ගෙවන දිවිය මෙමඟින් සංකේතාර්ථවත් ව පළ කිරීමට ජනකවියා පොහොසත් වී ඇත.

අතීත ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කුරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය. එබැවින් සියළු ගැමියන් උත්සහ කළේ තම වී බිස්සත් කුරහන් අටුවත් පුරවි ගැනීමවයි.  ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ගැමියාගේ  ආහාර පිළිබඳව කියැවෙන ජන කවියකි.

යල් කන්නේ වී පෑලයි මම               ඉස්සේ
ඒකෙන් අමුණු හතරයි බැන්දේ       බිස්සේ
කන්නය බලා නවදැලි හේනට        බැස්සේ
කුරහන් අටුව පුරවන්නයි ඒ            අස්සේ

කුසගින්න