Monday, 8 May 2017

පුද්ගලාන්තර සන්නිවේදනය හා කවිය



Image result for කවිය


පුද්ගලයන් දෙදෙනෙතු අතර සිදුවන අදහස් හුවමාරුව පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස අර්ථ දැක්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය අභිමුඛ හා අනභිමුඛ ලෙස හඳුනාගත හැකි අතර පුද්ගලාන්තර සන්නිවේදනය වාචික මෙන්ම නිර්වාචිකව පැවැත්විය හැකිය.  භාෂාව භාවිත කරමින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩයකදී ඒ හා සම්බන්ධ නිර්වාචික සන්නිවේදන රැසක් ද ඉදිරිපත් වේ. භාෂාව යනු වචන වලට වඩා වැඩි දෙයක්ය යන නිර්වචනය තුළින් එය මනාව පැහැදිලි වේ. පුද්ගලාන්තර සන්නිවේදනයේ දී දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍ය මගින් භාෂාව සන්නිවේදනය කරනු ලැබේ.

කවිය භාෂාව මාධ්‍යය කරගත් සන්නිවේදන විශේෂයකි. බහුතර වශයෙන්  දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍යවල පුද්ගලාන්තරව කවිය භාවිත වී තිබේ. මෙයින්ද වාචික සන්නිවේදනවට අයත් වන ශ්‍රව්‍ය කාව්‍ය වැදගක් වේ. මේවා කනට ඇසෙන ශ්‍රැත ගෝචර පණිවිඩ විශේෂයක් වේ. කවිය උපයෝගී කරගනිමින් යෙදුණ පුද්ගලාන්තර සන්නිවේදන අවස්ථා ජන සාහිත්‍යයේ  සුලභය.  

එම එක් එක් අවස්ථා සමාජික අවශ්‍යතා සඳහා යොදාගෙත ඇත.  පුද්ගලාන්තර සන්නිවේදනය සඳහා කවිය සාර්ථක ලෙසට යොදාගත් අවස්ථාවක් ලෙස ගජමන් නෝනාගේ සහ ඇළපාත මුදලිලේ ආදර කථාව උදාහරණයක් ලෙස ගත හැකිය.

ඇළපාත මුඳලි-

සසදර මන නන්න බඳුවන               මුකුලින්ද

යුග නෙත පිරි කුන්ද ඝන රන් කුඹු     මෙන්ද

මනහර වරනින්ද සසොබන මන         නන්ද

කත නුඹ ලඟ නින්ද නොලැබුණෙ  පවකින්ද



ගජමන් නෝනා-

කුන්ද මවන පොඹ කළ මැති සඳුන්   ලසා

අන්ධකාරයට ඇවිලුණ පහන          නිසා

නන්ද මනන දිලුනත් රූපෙන්   සතොසා

නින්ද බැරිය මා ළඟ ඔඹ සිතන    ලෙසා     ( ජයසේකර 2002 පිටුව 06)

අන්තර්පුද්ගල සන්නිවේදනයේදී කවිය බොහෝ උපකාරී වන බව අන්දරේ ඇසුරින් ගොඩ නැගී ඇති රස බර කථාන්දරයන්ගෙන් ද පැහැදිලි වේ. පහතින් දැක්වෙන්නේ රජතුමා හා අන්දරේ අතර සිදු වන කවි හුවමාරුවකි.

රජතුමා-

දාර දෙකයි එක නම මුල් කරගෙන  තැනුවා

පාර තිහක් ගැහුවත් බියකුත්           නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට   ඇතුවා

තෝරාපන් ඊයෙ මගදී                        දුටුවා

අන්දරේ-

දාර දෙකක් එක මැද එක              ගැවසීය

වට පිට යන කලට සතරෙන්              යාය

ගෙට වැඩි කලව කිසි බියකුත්   නැතුවාය

මට දැනෙනා ලෙස මහ රජ         ඉබ්බාය



අන්තර් පුද්ගල සන්නිවේදනය නිර්මාණශීලීව ග්‍රාහකයාට ප්‍රියතාවයක් ඇකිවන ආකාරයට කවිය මගින් ඉදිරිපත් කළ හැකිය.

එක්තරා තරුණයකු  මහමග දී මුණ ගැසෙන තරුණියකට තමන් සමග රැයක් පහන් කරන ලෙස ඉල්ලීමක් කරන්නේ මෙසේය.



අල්ලාගෙන නෙරිය අතකින්  කිම්ද  නගෝ

වසාගෙ දෙතන අතනින් කිම්ද          නගෝ

සැමියා නොමැති මග කනියම කිම්ද නගෝ

අම්බලමේ නැවතීලා යමුද                 නගෝ



තරුණියගෙන් එයට ලැබෙන පිළිතුරැ කවිය මෙසේය.

අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා

වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි  හින්දා

බාල මස්සිනා පස්සෙන් එන       හින්දා

යන්නම් අයියන්ඬි ගම රට දුර    හින්දා

ජනශ්‍රැති අධ්‍යයනයේදී පුද්ගලාන්තර සන්නිවේදනයයේදී කවිය උපක්‍රමශීලීව අලංකාරවත්ව යොදාගත් අකාරය ඉත සඳහන් ලෙස දැක්විය හැකිය.

                                                                                    ඉරේෂා නදීශානි

Sunday, 7 May 2017

නව මාධ්‍ය හා දේශපාලනය




වර්ෂ 1945න් පසුව ලොව කොටස් දෙකකට බෙදීම ආරම්භ කරන ලද සීතල යුද්ධය ජය ගැනීමට නව සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම සිදු විය. මේ හරහා ලොව ඉලෙක්ට්‍රොනික තාක්ෂණික මාධ්‍යයන් ඔස්සේ සන්නිවේදනය සිදුකිරීම වේගවත් විය.
20 වන සියවසේ අගභාගය තෙක් ලොව වඩාත් ප්‍රචලිතව පැවති පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය සහ රූපවාහිනිය සම්ප්‍රධායික මාධ්‍යයන් බවට පත් කරමින් චන්ද්‍රිකා තාක්ෂණය, අන්තර්ජාලය හා ඩිජියල් තාකෂණය හරහා නව සන්නවේදන ක්‍රමවේදයන් රාශියක් සන්නිවේදන ක්ෂේත්‍රයට එකතු විය.
සමාජ මාධ්‍ය ( ෆේස් බුක් , ට්විටර්  Google + ) චැට් රෑම්, විද්‍යුත් ලිපි, අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන පරිශීලක සමාජ , වෙබ් දැන්වීම්, තොරතුරු එක්රැස් කරන හා ඉදිරිපත් කරන මාධ්‍ය ( විකිපීඩියා, විකිලීස්, Mashable, Redit)වෙබ් අඩවි ජංගම දුරකථන ආදී මාධ්‍ය භාවිතයන් රැසක් මේ ගණයට වැටේ.
නව මාධ්‍ය වශයෙන් හැදින්වෙන මාධ්‍ය භාවිතයේ දී හඳුනාගත හැකි විශේෂම ලක්ෂණය වන්නේ ග්‍රාහකයන්ගේ ප්‍රතිපෝෂණ හා අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මත වැඩි වශයෙන් රඳා පැවතීමයි.
සන්නිවේදන ක්‍රියාවලිය තුළ නව මාධ්‍ය භාවිතයේදී තවදුරටත් පහත ලක්ෂණ හඳුනාගත හැකිය.
·         නව මාධ්‍ය අන්තර්ගතයන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට ඩිජිටල් උපාංග හරහා ප්‍රෙවේශ වීමට ඇති හැකියාව.
·         ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් පැවතීම.
·         ග්‍රාහක ප්‍රතිපෝෂණ සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය ක්ෂණිකව සිදුවීම.
·         පාඨ , රූපක සහ වීඩියෝ සම්මිශ්‍රිතව වේගවත්ව තොරතුරු ගලනය කළ හැකි වීම,
·         ඒ ඒ නව මාධ්‍යවලට සුවිශේෂී පරිශීලක ප්‍රජාවක් බිහි වීම.
නව මාධ්‍ය හරහා තොරතුරැ නිර්මාණය , ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම සහ පරිශීලණය කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට සිදු කළ හැකිය. මේ නිසා නව මාධ්‍ය භාවිතය සමාජ ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදි. ඒ අතරින් නව සහශ්‍රයේ විශාලම බලපෑම සිදු වූයේ දේශපාලන ක්ෂේත්‍රයටයි.
දේශපාලනය හුදෙක් මැතිවරණ කාල සීමාවට පමණක් සීමා නොවෙමින් දේශපාලකයන් හා ජනතාව අතර පුළුල් සබඳතාවක් දීර්ඝ කාලීනව සැලසුම් සහගතව ගොඩනැගීමට නව මාධ්‍ය සමත් වී ඇත. නව මාධ්‍ය හරහා දේශපාලකයන් සහ ජනතාව අතර පවතින සම්බන්ධතාවය නිරන්තරයෙන් යවත්කාලීන වන ඩිජිටල් සබඳතාවක් බවට පත්ව ඇත. මේ ඔස්සේ පාලන බලයේ නියැලෙන පිරිස මෙන්ම විපක්ෂයේ කටයුතු සම්බන්ඳයෙන්ද නිරන්තරයෙන් දැනුවත් සහ සම්බන්ධව කටයුතු කරන පුරවැසි ප්‍රජාවක් බිහිකිරීමට ද නව මාධ්‍ය දායකව ඇත.
නව මාධ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි තත්වයට පත්වීමට හේතු වු කරුණු අතර දේශ සීමා හෝ වෙනත් භෞතික බලපෑම් වලින් නිදහස්ව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ප්‍රබල වේ.
නව මාධ්‍ය විසින් මෑත කාලීනව දේශපාලන වෙනස්කම් සිදු කළ අවස්ථා නිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
2008 වර්ෂයේ ඇමරිකානු ජනාධිපතිවරණය උදෙසා බැරැක් ඔබාමා විසින් නව මාධ්‍ය හරහා ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය දැක්විය හැකිය. මෙම මැතිවරණ ව්‍යාපාරය ඉතිහාසයේ ප්‍රථම වරට නව මාධ්‍යයේ බලය උපරිම ලෙස යොදාගත් දේශපාලන ව්‍යාපාරය ලෙස හැදින්වීය. සමස්ථ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා ‍ෆේස්බුක් ,ට්විටර්,යූ ටියුබ් ආදී සමාජජාල මාධ්‍ය හා බ්ලොග් සහ වෙබ් අඩවි වැනි නව මාධ්‍ය 15 ක් හරහා මිලියන ගණනක ඇමරිකානුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී තම ජයග්‍රහණය සනිටුහන් කරගැනීමට බැරැක් ඔබාමාට හැකිවිය.
2011 වසරේ මැයි මාසය තුළ නව දේශපාලන වෙනසක් ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ දියත් වූ 15-M ව්‍යාපාරය ද දේශපාලනය තුළ නව මාධ්‍යයේ බලපෑම මනාව ප්‍රකට වූ අවස්ථාවකි.
දේශපාලනය තුළ නව මාධ්‍යයට සිදු කළ හැකි බලපෑම ඉතා හොඳින් පැහැදිලි වූ තවත් අවස්ථාවක් ලෙස 2009 අප්‍රේල් මස 07 දින මොල්ඩෝවා ජනරජයෙහි  පැවති මහ මැතිවරණය නැවත පවත්වන ලෙස නව  මාධ්‍ය හරහා ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරය පෙන්වා දිය හැකිය. මෙම විප්ලවය ට්විටර් විප්ලව ලෙසද හැඳින් වේ.
ඉන්දියානු අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා තේරී පත් වීම හා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත් වීම ද නව මාධ්‍යයන්හි ප්‍රබල දායකත්වයෙන් සිදු විය.
මානව ඉතිහාසය තුළ මින් පෙර නොතිබූ තරම් කාර්යක්ෂම දේශපාලන සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නට නව මාධ්‍ය පදනමක්ව ඇත. තාක්ෂණයේ අනාගත දියුණුවීම් හා ව්‍යාප්තීන් හමුවේ මෙම තත්ත්වය අනාගතයේ දී තවත් පුළුල් වු ඇත.


                                                                                                                        ඉරේෂා නදීශානි

Wednesday, 3 May 2017

එෆ් . එම් නාලිකාවන්හි නිසි ප්‍රමිතියකින් තොර භාෂා භාවිතය




ගුවන් විදුලිය වූ කලී ශ්‍රව්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍යවාහිනිය  ලෙස ගුවන් විදුලිය අන්වර්ථ නාමයකින් හඳුන්වන්නේ ද එබැවිනි.  ශ්‍රවණය මූලික කරගත් මාධ්‍යයක් වූ බැවින්  ගුවන් විදුලියක බස හැසිරවීමේදී එය යම් ප්‍රමිතියකට මෙන්ම යම් ශිකෂණයක් යටතේ සිදු විය යුතුය. ඇසූ සැනින් ග්‍රහණය කරගත හැකි තත්ත්වයත් ගුවන් විදුලි භාෂාව සතුව තිබිය යුතුය.
නමුත් කණගාටුවට කරුන නම් වර්තමානය වන විට බොහෝ FM නාලිකාවල භාෂා භාවිතය ප්‍රමිතියකින් තොර වීමයි.  එයට මූලිකම සාධකය නම් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා වර්ධනයත් සමග බොහෝ එෆ්.එම් නාලිකාවල භාෂා රටාව ජනප්‍රිය සංස්කෘතිය හා බද්ධව ගමන් කිරීමයි.
ශ්‍රී ලංකාවේ එෆ්.එම් නාලිකාවන්හි ආරම්භය සිදු වන්නේ ජාතික ගුවන් විදුලියේ CITI FM  නාලිකාවේ බිහිවීමත් සමගය. පෞද්ගලික එෆ්.එම් නාලිකා ආරම්භ වන්නේ මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදී දශක දෙකක් පමණ ගත වූ පසුවයි. ඉන් පසු හතු පිපෙන්නාක් මෙන්  එෆ්.එම් නාලිකා මතු විය. වර්තමානය වන විට එෆ්.එම් නාලිකා විශාල ප්‍රමාණයක් වෙළඳ තරඟයක යෙදී සිටී. වාණිජ අරමුණු පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීම මිස හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබඳව අවධානය යොමු නොකළ බව වර්තමාන එෆ්.එම් නාලිකා අධ්‍යයනය කරන විට පැහැදිලි වන කරැණකි.
ගුවන් විදුලි මාධ්‍යයේදී උසස්ම තරාතිරමක අයෙකුගේ සිට ඕනෑම අයෙකුට පොදුවේ ආමන්ත්‍රණය කළ හැකි වචනය වන්නේ  ඔබ යන්නයි. නමුත් වර්තමාන එෆ්.එම් නාලිකා ඔයා අරයා මෙයා අනේ යන වචන වලින් සුපෝෂිතය. තම ශ්‍රාවකයා පහත් කොට නොසලකමින්  ආමන්ත්‍රණය කළ යුතු බව සාමාන්‍ය පිළිගැනීම වුවද ශ්‍රාවකයා ලැජ්ජාවට පත්කරමින්   අපහසුතාවයට පත් කරන නිවේදක නිවේදිකාවන් එමටය.
තවත් කාරණයක් වන්නේ එෆ්.එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් විදග්ධ ලෙස සිංහල භාෂාව හැසිරවීමේ දක්ෂතාවයෙන් යුතු පිරිසක් නොවීමයි. නිවේදකයා හෝ නිවේදිකාව වෘත්තීයභාවයක් ගොඩනගාගැනීමකින් තොරව භාෂා භාවිතය සිදු කරන බව පැහැදිල කරුණකි.  අතිෂයින් දියුණු වාග් කෝෂයක් සිංහල භාෂාවට පැවතියද සිංහල භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් මිශ්‍ර කරමින් නිවේදන කටයුතු සිදුකිරීමේ අමුතු විලාසිතාවක් වත්මන් ගුවන් විදුලි නාලිකා අනුගමනය කරමින් සිටී. එමගින් ශ්‍රාවකයාට නිවැරදි සන්නිවේදනයක් සිදුවන්නේද යන්න ගැටලුවකි.

එෆ්.එම් නාලිකාවන්හි ප්‍රචාරය වන ගීත ද නිසි ප්‍රමිතියකින් යුතු ගීත නොවේ.   එෆ්.එම් නාලිකාවන්හි  නිවේදක නිවේදිකාවන් ගිරව් මෙන් දොඩමලු වෙයි.  සිනහව වෙනුවට කොක් හඩලා  සිනාසෙයි.   ශ්‍රාවකයා නොමඟ යවයි. වගකීමකින් තොරව කටයුතු කරයි. යහපත් වූ රසවින්දනයක් ලබා දීමට අපොහොසත් වන එෆ්.එම් නාලිකා හිස් මිනිසුන් පිරිසක් බිහිකිරීමේ කාර්යයට දායකත්වය සපයයි.

                                                                           
                                                                                   කේ.එම්.ඉරේෂා නදීෂානී


Monday, 24 April 2017

වගකීම අත්හළ ජනමාධ්‍ය




වර්තමානය වන විට ලංකාව තුළ වෘත්තීයභාවයකින් තොරව සිදුවන මාධ්‍ය නිෂ්පාදනයන් පුද්ගලයාට පමණක් නොව සමස්ථ සමාජයටම ගැටලු නිර්මාණය කිරීමේ කාර්යයේ නියැලී සිටී. යම්  රටක හෝ සමාජයක සමාජ වගකීම් සහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකිම් ද ඉදිරියට පැමිණෙන බව නොරහසකි.

නමුත් තුන්වන ලෝකයේ රටක් වන ලංකාව මේ තරම් අන්ධකාරයක හෙලීමට මෙරට මාධ්‍ය ප්‍රධාන හේතුකාරකයක් බවට පත්ව පත්ව හමාරය.

මිනිසුන් අතර සාමය, සංහිඳියාව,ප්‍රඥාව ඇති කර වර්ධනය කරනවා වෙනුවට ඔවුන් අතර පරතරය හා ගැටුම් වැඩිකිරීමට ද මුලාවේ හා අවිද්‍යාවේ අන්ධකාරය වෙත ඔවුන් ගෙන යාමට මෙරට ජන මාධ්‍ය  වගකිව යුතු බව තිත්ත නමුත් ඇත්තය.

වර්තමානය වන විට ලංකාව තුළ ද සන්නිවේදන තාක්ෂණය ඉතා වේයෙන් දියුණු වී ඇත. නමුත් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය ඵලදායීතාවයෙන් යුතුව ගෙන යනු ලබන බව පෙනෙන්නට නැත. යට හේතුව මාධ්‍යෙදියා වගකීමෙන් යුතුව තම කාර්ය ඉටු නොකිරීමයි.

යම් වාර්තාකරණයකදී නිරවද්‍යතාව ( ACCURACY ) සමබරබව ( BALANCE ) නිරවුල්බව ( CLEARITY) යන්න තුළින් විශ්වසනීයත්වය ( CREDIBILITY ) ගොඩ නගන්නට මාධ්‍යෙව්දියාට හැකිවිය යුතුය. මාධ්‍යකරුවකු මේ ක්‍රියාවලියට අනුගතව කටයුතු කරන්නේ නම් වගකීම් අතර බැඳුණා වූ මාධ්‍යකරණයක් මුදා හැරීමට හැකියාව ලැබෙනු ඇත.

පොදු ජන කැමැත්ත හා සදාචාරයට හානි විය හැකි දේ පල කිරීමෙන් මෙන්ම සදාචාරය පහළ මට්ටමකට ඇද දමන ආකාරයේ කිසිවක් පළ නොකිරීම මෙන්ම ඉදිරිපත් නොකිරීම යහපත් මාධ්‍යෙව්දියාගේ වගකීමයි. සෑම පුදුගලයෙකුගේම ගරැත්වය කෙරෙහි පොදු ස්ථාන හා පොදු සිදුවීම් වගකීමක් සහිතව පළ කළ යුතුය. යම් කිසිවකුගේ පුද්ගලික පිළිබඳව මහජන යහපත පිණිස වන්නේ නම් මිස විවේචනය නොකළ යුතුය.

වර්තමානය වන විට ජන මාධ්‍ය මෙම කාරණයෙන් බැහැරව කටයුතු කරනු ලබන බව හඳුනාගත හැකිය. මේ සියල්ල දැන්වීම්

                                                    මාධ්‍ය හිමිකාරීත්වය

                                                  දේශපාලන අධිකාරීත්වය 

යන්නට යටපත්ව පවතී. සමස්ථ මානව චර්යා තුළම වාර්ගික සමානතාවය, සුහදතාවය හා සමාජ  ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකිරීම මාධ්‍ය වගකීමයි. මන්ද යත් ජනමාධ්‍යෙව්දියා එක් අවස්ථාවක දී සමස්ථ ජනතාවගේ නිවැරදි මතය එකහෙලා ප්‍රකාශ කළ හැකි පුද්ගලයෙකු වන බැවිනි.

මාධ්‍යවේදියා විසින් අද බහුලව වාර්තා කරනු ලබන අපරාධ, අපරාධ නඩුවලදී වගකීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එම වාර්තාකරණයන් තුළ දී මාධ්‍යවේදියා වගකීම අමතක  කරමින් මිනීමැරැම් , දුෂණ සම්බන්ධ සිදුවීම් සිතේ මැවෙන ආකාරයට සටහන් කරන්නට අමතක නොකරයි. ඒ තුළින් මාධ්‍ය ඇසුරු කරන්නන්ගේ මනස කුපිත කොට හැඟීම් අවුළුවා අඩු මානසිකත්වයකින් යුතු පිරිසක් ලංකාව තුළ බිහිකිරීමේ පහත් කාර්යයට ජනමාධ්‍ය අද වන විට දායක වෙමින් පවතී.

තවද වර්තමානය වන විට බොළඳ ටෙලිනාට්‍ය, බොළඳ ගුවන්විදුලි නාට්‍ය ජනතාව වෙත ඉදිරිපත් කරමින් ලාංකිකයා මෝඩයකු බවට පත් කර ඇත.

මාධ්‍යකරුවා යථාර්ථවාදී සත්‍ය එළිදක්වන්කට අනිවාර්යෙන්ම වගබලා ගත යුතුය. කමුත් යථාර්ථවාදී සත්‍යයෙන් බැහැරට ගිය මාධ්‍ය ක්‍රියාවලියක් ලංකාව තුළ අද වනවිට පවතී. 

ප්‍රමාණාත්මක බවින් අසීමිත වුවද ගුණාත්මක බවින් පිරිපුන් නැති බවත් විශේෂයෙන් මාධ්‍යදය දේශපාලන බලවතුන්ගේ හා ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන්ගේ අතකොළු බවට පත්ව ඇත.

                                          

                                  කේ.එම්.ඉරේෂා නදීශානි

Friday, 31 March 2017

වර්තමාන රූපවාහිනී නාලිකාවන්ගේ ක්‍රියාකාරිත්වය හා අනාගත පරපුර



                     



ජනමාධ්‍යය වූ කලී ජනයාගේ මාධ්‍යයි. ජනතාවගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සඳහා ජනමාධ්‍යය ඍජු ලෙස දායක වන බව නොරහසකි. ලොව පවත්නා ජනමාධ්‍යය අතුරින් රූපවාහිනියට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. වර්තමාන මිනිසාගේ ප්‍රබල සන්නිවේදන සහයකයකු බවට රූපවාහිනිය පත්ව තිබේ. වෝල්ටර් ලිප්මන් වරෙක ප්‍රකාශ කොට ඇත්තේ “ රූපවාහිනිය අපට ජීවත්වන හැටි, අකමැති දේ , අභිමානවත් වන හැටි, දියුණුවන හැටි , තෝරා ගන්නා හැටි ,ආදරය කරන හැටි උගන්වයි ” යනුවෙනි.

රූපවාහිනිය සන්නිවේදන මාධ්‍යයකි.කුමන හෝ සන්නිවේදන මාධ්‍යයක මුඛ්‍ය වූ සන්නිවේදන අරමුණු 04 ක් වෙයි. එනම්,
01- තොරතුරු සැපයීම
02- අධ්‍යාපනය ලබාදීම
03- විනෝදාස්වාදය ලබාදීම
04- යම් කාර්යයන් සදහා පෙළඹවීම යි.
                       
ලාංකීය රූපවාහිනියේ ආගමනය සිදු වූයේ ද ඉහත සදහන් කරන ලද අරමුණු 04 සඵල කර ගැනීම උදෙසාය. නමුදු නුතන රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සියුම්ව විමසා බලන විට ප්‍රත්‍යක්ෂ වන කරුණ නම් රූපවාහිනි මාධ්‍යය හුදු නිසරු විනෝදාස්වාදයක් කරා තම ප්‍රේක්ෂකයන් ගෙන යන බවයි. එමෙන්ම
01- මාධ්‍ය හිමිකාරිත්වය
02- දේශපාලන අධිකාරිත්වය
03- දැන්වීම්
   යන  අංගයන් නූතන රූපවාහිනී මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන හස්තයන් වේ.වර්තමානය වන විට ලාංකීය රූපවාහිනී නාලිකා සියල්ල ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ පා සිටී. සංස්කෘතිය, සදාචාරය ,කාලය යනාදී කිසිවක් පීළිබඳ නිසි අවබෝධයකින් තොරව රූපවාහිනි නාලිකා කටයුතු කරන බව කිව යුතුය. වර්තමානය වන විට රූපවාහින මාධ්‍ය ප්‍රේක්ෂක මනසට ගෙන දෙන්නේ පීඩාවකි.මන්ද යත් ප්‍රේක්ෂකයා නැරඹිය යුත්තේ කුමන වැඩසටහනද නැරඹිමෙන් වැළකිය යුත්තේ කුමන වැඩසටහනද යන්න රූපවාහිනී මාධ්‍යය විසින් බලෙන්ම ප්‍රේක්ෂකයාව පෙළඹවීම සිදු කරයි. රූපවාහිනී මාධ්‍යය දෙනු ලබන්නේ කුමක්ද එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රේක්ෂකයා නැරඹිය යුතුය. උදාහරණයක් ලෙස වැදගත්කොට සලකනුයේ ප්‍රේක්ෂකයාගේ දේශපාලන මතය නොව මාධ්‍ය හිමිකාරිත්වයේ දේශපාලන මතයයි.
                     
                 වර්තමානය වන විට රූපවාහිනිය යනු කලාවක්  නොව කර්මාන්තයකි. සෑම මොහොතකම ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාකරන ආකාරයක් දක්නට ලැබේ. ලාභය මූලික කර ගනිමින් නිසරු වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එමින් ප්‍රේක්ෂකයා ද සිහින ලොවක අතරමං කර තිබේ. දැන්වීම් මත යැපෙන මාධ්‍ය සංස්කෘතියක් රූපවාහිනි නාලිකා වටා ගොඩ නැගී තිබෙන අතර  රූපවාහිනි මාධ්‍ය තුළ කළු සල්ලි සංසරණය වීමේ ප්‍රවණතාවය වැඩිය.   එක්  රූපවාහිනි නාලිකාවක විකාශනය වන ජනප්‍රිය වැඩසටහන් අනුකරණය කිරීම ද අද රූපවාහිනී නාලිකා ක්‍රියාකාරිත්වයේ දී  දැකිය හැකි තවත් ප්‍රවණතාවකි.
                      වර්තමානය වන විට රූපවාහිනී ක්‍රියාකාරීත්වය මගින් මිනිස් ප්‍රජාව වෙත ගෙන යා හැකි මාන හා යථාර්ථවාදී බලපෑම අතිමහත්ය.   නමුත් බොහෝ බොහෝ දුරට සිදුවන්නේ අනාගත පරපුර වෙත මුදලට විකිණි යන තරු පිළිබඳ සිහින පවරා දෙමින් ඔවුන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් සිහි බුද්ධියත් නැති කිරීමයි.මේ වන විට කරන ලද පර්යේෂණවලට අනුව 75%ක ප්‍රතිශතයක් රූපවාහිනී ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන අනාගත පරපුර ප්‍රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ඇති බව අනාවරණය වී ඇත.

                  රූපවාහිනිය විසින් සන්නිවේදන මාධ්‍යයක අරමුණු  අමතක කොට කටයුතු කරන බැවින් අනාගත පරපුර බොළඳ ආශාවන් කෙරෙහි යොමු කිරීමට අද රූපවාහිනයේ ඇතැම් වැඩසටහන් හේතු වී ඇති බව නොරහසකි. වරෙක දකුණු  අප්‍රිකාවේ තැපැල් සහ විදුලි සන්දේශ අමාත්‍යවරයාව සිටි ආචාර්ය ඇල්බට් ස්මිත් මහතා “ යකාගේ පෙට්ටිය ” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද්දේ ද එම හේතුව නිසාය.හෙතෙම වැඩි දුරටත් දැක්වූ කරුණ නම් රූපවාහිනිය රකුසකු ලෙස අනාගත පරපුර බිලි ගන්නා බවයි.
       
නූතන රූපපෙට්ටියේ  ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන මිනිසා යථාර්තයෙන් ඈත්කොට ඇත . දිනකට වැඩි කාලයක් නීරස ටෙලිනාට්‍යය වලට කොටු වී කාලය ගත කරන බව නොරහසකි. තමාට නොදැනීම තමා රූපවාහිනියේ අතකොළුවක් බවට පත්ව ඇතිබව අපට වටහා ගැනීමට රූපවාහිනිය කිසිවිටෙකත් ඉඩ නොතබන බවනම් සහතිකය.

                            එබැවින් සිදු විය යුත්තේ අනාගත පරපුරේ යහපත උදෙසා රූපවාහිනියේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු කිරීමයි. එබැවින් රූපවාහිනිය අනාගත පරපුර වෙත ප්‍රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කළ යුතු කාලය වර්තමානය තුළ උදා වී ඇත.  ප්‍රතිජනනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමටනම් මූලික වශයෙන් ම මාධ්‍යය පිළිබඳ පෘථුල දැනුමක් පවතින්නා වූ මාධ්‍යය ඇසුරින් යම් යම් සමාජ ප්‍රගමනයක් ඇතිකළ හැකි තත්වයෙහි පුද්ගලයන් වැඩ සටහන් පාලකයින් ලෙස තෝරා පත් කරගත යුතුව ඇත. නූතනයේ රූපවාහිනිය වටා ගොඩනැගී ඇති සංස්කෘතිය තුළ අධ්‍යයක්ෂකවරු, නිශ්පාදකවරු මුදලට විකිණෙන ක්‍රියාවලිය තුළ අනාගත පරපුරට සුභ ලකුණු දැකගත නොහැකි වේ.

            එලෙසම වර්තමානයේ දී බොහෝ නිවේදක නිවේදිකාවන් ස්වකීය කාර්යය කුමක්ද යන්න පිළිබඳ කිසිඳු වැටහීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරයි.තමාගේ කටට එන ඕනෑම දෙයක් කියවාගෙන යයි. නිවේදක නිවේදිකාවන් ඉදිරිපත්කරනු ලබන සංදේශ පිළිබඳ මනා වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අත්‍යයවශ්‍යය.

ඉතාලියේ රූපවාහිනී මගින් ඉදිරිපත් කරනු ලැබූ It's never too late (ඉට්ස් නෙවර් ටු ලේට්) නම් වැඩසටහන ඉතා කෙටි කලකදී ඉතාලි ජනතාවට ලිවීමේ හා කියවීමේ හැකියාව ලබාදුන් බැව් සඳහන් වේ. එමෙන්ම කෝටි 85 වූ චීන ජනතාවට පුහුණු අධ්‍යාපනවේදීන් හිඟකම මගහැර ගන්නා ලද්දේ රූපවාහිනී භාවිතය නිසාය.ඒ අනුව රූපවාහිනී මාධ්‍යයට කළ නොහැක්කේ කුමක්ද? එබැවින් බුද්ධිය වර්ධනය කරගනු වස්, නැණැස් දල්වාගනු පිණිස රූපවාහිනී වැඩසටහන් ක්‍රියාත්මක වීම තුළින් අනාගත පරපුරෙහි අභිවෘද්ධියට හේතු වේ.

                                                                                                           ඉරේෂා නදීශානී 

කුසගින්න