Tuesday, 23 May 2017

සඳකඩ පහණෙහි තතු

සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපීපෙනෙන අංගයක් වේ. පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධකවාකාර ගල්පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස කරනවා.


ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී යි.
 
බොහෝ දුරට ලක්දිවට පමණක් ආවේණික වූ කැටයම් අංගයක් වන සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී තිබෙනවා. අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ සෘජු කෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි උපකල්පණය කළ හැකිය. උදා:- මිරිසවැටිය විහාරයේ සඳතඩ පහණ .එය කිසිදු කැටයමකින් තොර වූ අතර හුදෙක් සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවක් බව පමණක් කිව යුතුය.
අනුරාධපුර සඳකඩ පහණේ මීළඟ අවස්ථාව වූයේ සම්පූරණයෙන් පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව මධ්‍යයෙහි නිරූපණය කිරීමයි. උදා:- ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස සඳකඩ පහණ


සඳකඩ පහණ විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය. සඳකඩ පහණ විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන්ද විශිෂ්ටත්වයට පත් විය. අනුරපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය. පිටතින්ම ඇති තීරුවේ හමුවන්නේ ගිනිදැල් හෝ පලා පෙති ය. ඊළඟ තීරුවේ ඇත්, අස්, සිහ, හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරකි. මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි. ඉන් පසුව ලියවැලකි. ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංසපෙළකි. සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් දැනට ලැබී ඇති හොදම සඳකඩ පහණ හමුවී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයා ගෙන ඇත.

ලක්දිව ඓතිහාසික යුගයේ දෙවන උප අවධිය ලෙස පිළිගැනෙන පො‍ළොන්නරු යුගය තුළදී සඳකඩ පහණ සැලැස්මෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් ඇති බව පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ සඳකඩ පහණ කවයකින් 3/4ක් පමණ වන අතර එහි මධ්‍යයේද නිරූපණය වන්නේ පිපුණු මලක 3/4ක් වේ. පොළොන්නරුවේ නෙළුම් මල, අනුරාධපුරයේ ‍නෙළුම් මලට වඩා මඳක් ඉහළට එස වී ඇත.

පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ නිරූපණය කර ඇති රූප අතුරින් ගවයා අතුරුදහන් වී ඇති අයුරු පෙනේ. මෙයට හේතුව හින්දු ආගමේ බලපෑම නිසා බව උගතුන්ගේ පිළිගැනීමයි. හින්දු ආගමේ ප්‍රධාන දෙවියෙකු වන ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පෑගීම අයහපත් ක්‍රියාවක් ලෙස සැලකෙන්නට ඇත. අනුරපුර යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන් ගත් අතර පොළොන්නරු යුගයේදී එක් එක් සත්ත්වයා සඳහා වෙනවෙනම පේළි යොදා ගෙන ඇත. අනුරපුර යුගයේ සඳකඩ පහණෙහි නෙළුම් මල අසලින්ම නිරූපිත හංස පංතිය මේ සඳකඩ පහණේදී පිටතම තීරුවට තල්ලු වී ඇත. එසේම මෙම යුගයේ ලියවැල් කීපයක් යොදා ගෙන ද ඇත. හින්දු ආභාසය හේතු කරගෙන විවිධ මෝස්තර හා අලංකරණය සිදු වී තිබුණ ද අනුරාධපුර යුගයේ සඳකඩ පහණ කලාත්මක බවින් හා ජීවමාන බවින් ඉහළ බව පෙනී යයි. 

පොලොන්නරු යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන පිරිවෙනේ ඇති සඳකඩ පහණ හතරැස් ආකාර ගන්නවා. මෙහි හංසාවලිය හා අර්ධ පද්මය පමණක් දක්නට ලැබෙනවා.


සඳකඩ පහණේ සන්නිවේදනාර්ථ  පිළිබඳ විවිධ පුදුගලයන් විවිධ අදහස් දරනවා. 
 
සඳකඩ පහණේ ඇති ලියවැල තුලින් තණ්හාව මුර්තිමත් වන අතර ලෝක සත්වයා තණ්හාව නැමති ලතාවෙන් බැඳී කම්සුව විඳින බවත් පෙන්නුම් කරයි. හංසාවලිය තුළින් තණ්හාවට පිටුපා ගිහිගෙය හැරයන ආර්යයන් පෙන්වන අතර හංසයා කිරෙන් දිය වෙන්කල හැකි සත්ත්වයෙක් බව පිළිගන්නා නිසා හොඳ නරක වෙන්කර ගත හැකි පුද්ගලයින් මේ තුලින් පිලිබිඹු වන බවත් පෙන්නුම් කරයි.

මෙහි කැටයම් කර ඇති පියුමෙන් ශුද්ධ වාසයක් වන බඹලොව පෙන්නුම් කරන බවත් රාග, ද්වේශ, මෝහ නම් වූ ගින්නෙන් පිළිස්සෙන ගිනිසිළු ආකාර පලාපෙති වලින් ලෝක සත්ත්වයා පෙන්නුම් කෙරෙනවා. ඇතා,අශ්වයා,සිංහයා,ගවයා ගෙන් ජාති ජරා ව්‍යාදී මරණ යන සතර භය පෙන්නුම් කරන අතර සතුන් හතර දෙනා කවය තුල නැවත නැවතත් කටයම් කිරීම තුලින් ලෝක සත්වයා ඉපදෙමින් මිය යමින් නැවත අඛණ්ඩව සසර පුරා ගමන් කිරීම සිදුකරන බව මේ තුලින් පෙන්නුම් කරන අතර දුක අවබෝධ කරගත් සත්ත්වයා කෙසේ හෝ නිවන් මාර්ගයට යන බවද මේ මගින් අදහස් වේ.

Sunday, 14 May 2017

ජන කවිය හා ජන සමාජය



කවිය අප රටේ ඉතා ජනප්‍රිය ජනශ්‍රැතික අංගයක්. අප අතර දැනට භාවිත වන ජනකවිවල ආරම්භය කවදා කෙසේ ඇති වූවක්‌ දැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකියි.   සිංහල කවියේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යන්නේ පොත පතේ ලේඛන ගතව ආ ශාස්‌ත්‍රීය කවියට වඩා කටින් කට ජනශ්‍රැතියේ ආ ජනකවිය පුරාණවන බවයි .ජනකවියේ බිහි වීම පිටිසර පාරම්පරික ගැමියන්ගේ මුඛ වහරෙන් සිදුව ඇති බව දැනට පිළිගෙන ඇති මතයයි.
ජන කවිය ගැමි කලාංගයකි.  ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් ජන කවිය තුළින් පිළිබිඹු වේ. හුදෙක්‌ දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමෙන්  කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසත් ගැමියන් විසින සාමූහිකව හෝ තනිව ජන කවි ගායනා කරන ලදි.
ජන කවිය බිහි වීමට බලපාන ප්‍රධාන සාධතය වන්නේ ගැමියා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් නිසා ජන කවිය තුළින් නිරෑපණය වන්නේ  සිංහල ජන ජීවිතයේ සංස්කෘතියයි.  
ඉර, හඳ, ගස් ,ගල්, ජලය, ගින්න දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි. සිංහල ජන සමාජයේ පවතින දේව වන්දනය ජන කවිය තුළින් ඉස්මතු වන අවස්ථාවකි මේ.

ඉරුට වැදලා ඉරුදෙවි අවසර                         ගත්තෙමි
සඳුට වැදලා සඳුදෙවි අවසර                           ගත්තෙමි
පොළොවට වැදලා මිහිකත අවසර               ගත්තෙමි
ගොයමට වැදලා නෙළුමට අවසර                  ගත්තෙමි

අතීත සිංහල ජන සමාජය තුළ කුල ක්‍රමය සමාජ තීරක සාධකයක් බවට පත් විය. තම කුලයට අයත්ව මිස පහත් කුලයන්හි කාන්තාවන් විවාහ කර නොගැනීම අතීත සංස්කෘතියයි. ජන කවියා ඒ බව සමාජ ගත කරන්නේ මේ ආකාරයටයි.
 
පල්ලව පඩත්තරු මුක්වරු ද      පරවරු
ඊවරුදුරා පදු කෙව්ලන් හා         හකුරු
බෙරවා රදා ඔලිකිනින්නරු ද     පුරවරු
මින් මිස තොපේ ලිය අරගන්නේ කවුරු

සමාජයක පැවැත්ම උදෙසා ලිංගික ප්‍රජනන කාර්යය වැදගත් වේ. අතීත සමාජයේ පවුල නමැති සම්මතය තුළ විවාහය ලෙස සලකන ලද්දේ ඇවැස්ස නෑකම මත සිදු වූ විවාහය යි. ඒ සඳහා ජන සමාජය තුළ යම් නීත්‍යනුකූල බවක් සමාජ පිළිගැනිම තුළින් ස්ථාපිතව තිබුණි. මේ නිසා නෑනාගේ අයිතිය මස්සිනාට පැවරෙන බව  අතීත සමාජයේ ප්‍රබල මතයක් හටගෙන තිබුණා. ඒ බව ජන කවියා පවසන්නේ මෙසේය.

වැසි දිය අයිති ගං හෝ ඇළ                    සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන                 බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ                           වැද්දාටයි
නෑනා අයිති කාට ද                             මස්සිනාටයි

අතීත සමාජය තුළ විවාහ ක්‍රම කීපයක් තිබුණි. ඒ අතරින් බින්න විවාහ  ක්‍රමය අනුව පුරුෂයා මනමාලියගේ ගෙදර පදිංචියට පැමිණේ. මේ ක්‍රමය දේපළ පාලනය කිරීමේ අවශ්‍ය තත්ත්වය නිසා, ඇතිවූවකි. එසේ වුවත් බින්න විවාහය ස්‌ත්‍රියට යටත්වීමේ ක්‍රමයකැයි සලකන පහත රට ජනයා එය ආත්ම ගෞරවයෙන් යුත් තරුණයෙකුට තරම් නොවෙතැයි හෙළාදකී. එසේ විවාහ වූ තැනැත්තා නැන්දනියගේ යටතේ සිටිය යුතුය. මෙය තවත් ප්‍රශ්නයකට තුඩු දෙන කාරණයකි. බින්න විවාහයක්‌ කරගන්නා තැනැත්තා විඳවන අයුරු ජන කවියා මෙලෙස දක්වයි.

අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට
බින්න මඟුලකට බහදී මෙමා       හට
සැමියා ලෙසට උනි අඹුවත් එදා     සිට
උපන් රටට යැමට දැන් සිතෙයි      මට

රැය පුරා පතල් දෝනා තුළ අපමණ වෙහෙස වී වැඩ කරන ගැමියන්ට රාති‍්‍රය ඉතා දිගු වූවක් ලෙස පෙනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළිබඳ අපේක්‍ෂා ඔවුන්ගේ සිත් තුළ ලියලන්නේ එබැවිනි. එහෙත් හිරු පායන්නට පමා වීම ඔවුන්ගේ නොමනාපයට හේතු වූ අයුරු ජන කවියා ව්‍යංගයාර්ථවත් ව පළ කරන්නේ මෙසේ ය.
 

සූරිය සුනෙර වට දෙවරක්          ගියාදෝ
සූරිය යනෙන රත ඇණ       ඉගිලුණාදෝ
වීරිය කරන රාහුට අසු             වුණාදෝ
සූරිය උදා නූනේ එම නිසා                දෝ

එම සමාජය තුළ ජීවත් වූ පතල් රැකියාව කරන ගැමියන්ගේ ජීවිත පිළිබඳ ඉස්මතු කරන ජන කවියකි. බලවත් දුක් කම්කටොලු උසුලමින් ගැමියා ගෙවන දිවිය මෙමඟින් සංකේතාර්ථවත් ව පළ කිරීමට ජනකවියා පොහොසත් වී ඇත.

අතීත ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කුරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය. එබැවින් සියළු ගැමියන් උත්සහ කළේ තම වී බිස්සත් කුරහන් අටුවත් පුරවි ගැනීමවයි.  ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ගැමියාගේ  ආහාර පිළිබඳව කියැවෙන ජන කවියකි.

යල් කන්නේ වී පෑලයි මම               ඉස්සේ
ඒකෙන් අමුණු හතරයි බැන්දේ       බිස්සේ
කන්නය බලා නවදැලි හේනට        බැස්සේ
කුරහන් අටුව පුරවන්නයි ඒ            අස්සේ

Thursday, 11 May 2017

උතුම් වෙසක් පුර පසලොස්වක පොහොය




වෙසක් පුන් පොහෝ දිනය ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයක්. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන්  ලබන අවසන් ජන්මොත්සවයත්,  සියළු ලෝක වාසීන්ගේ හිත සුව පිණිස  සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්,  දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන සිහි කරනු සඳහා ලොව පුරා වෙසෙන සැදැහැවතුන් වෙසක් පුන් පොහෝ දිනය ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද සමරනවා.

 වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍යයන්ට අමතරව සිදු වූ තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම තිබෙනවා.

ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පුන් පොහෝ දිනකයි. .බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළේද උතුම් වෙසක් පුන් පොහෝ දිනකයි .

සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම සිදු වූයේද උතුම් වෙසක් පුන් පොහෝ දිනකයි. සිංහල වංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද , දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම ද, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට  නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා  බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
 විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය ''සක්වල වෛශාක්‍ය මංගල්‍ය '' ලෙස ද හැඳින්වෙනවා.
සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙමින්  , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින්  , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙයි .දන්සැල් දෙයි. මෙලෙස සමස්ථ ලෝකයාම සැනසීම ලබයි.
 මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.

 ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය සැදැහැ සිතින් සමරමු.
                                                               
                                                                                                     කේ.එම්.ඉරේෂා නදීශානී

Monday, 8 May 2017

පුද්ගලාන්තර සන්නිවේදනය හා කවිය



Image result for කවිය


පුද්ගලයන් දෙදෙනෙතු අතර සිදුවන අදහස් හුවමාරුව පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස අර්ථ දැක්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය අභිමුඛ හා අනභිමුඛ ලෙස හඳුනාගත හැකි අතර පුද්ගලාන්තර සන්නිවේදනය වාචික මෙන්ම නිර්වාචිකව පැවැත්විය හැකිය.  භාෂාව භාවිත කරමින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩයකදී ඒ හා සම්බන්ධ නිර්වාචික සන්නිවේදන රැසක් ද ඉදිරිපත් වේ. භාෂාව යනු වචන වලට වඩා වැඩි දෙයක්ය යන නිර්වචනය තුළින් එය මනාව පැහැදිලි වේ. පුද්ගලාන්තර සන්නිවේදනයේ දී දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍ය මගින් භාෂාව සන්නිවේදනය කරනු ලැබේ.

කවිය භාෂාව මාධ්‍යය කරගත් සන්නිවේදන විශේෂයකි. බහුතර වශයෙන්  දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍යවල පුද්ගලාන්තරව කවිය භාවිත වී තිබේ. මෙයින්ද වාචික සන්නිවේදනවට අයත් වන ශ්‍රව්‍ය කාව්‍ය වැදගක් වේ. මේවා කනට ඇසෙන ශ්‍රැත ගෝචර පණිවිඩ විශේෂයක් වේ. කවිය උපයෝගී කරගනිමින් යෙදුණ පුද්ගලාන්තර සන්නිවේදන අවස්ථා ජන සාහිත්‍යයේ  සුලභය.  

එම එක් එක් අවස්ථා සමාජික අවශ්‍යතා සඳහා යොදාගෙත ඇත.  පුද්ගලාන්තර සන්නිවේදනය සඳහා කවිය සාර්ථක ලෙසට යොදාගත් අවස්ථාවක් ලෙස ගජමන් නෝනාගේ සහ ඇළපාත මුදලිලේ ආදර කථාව උදාහරණයක් ලෙස ගත හැකිය.

ඇළපාත මුඳලි-

සසදර මන නන්න බඳුවන               මුකුලින්ද

යුග නෙත පිරි කුන්ද ඝන රන් කුඹු     මෙන්ද

මනහර වරනින්ද සසොබන මන         නන්ද

කත නුඹ ලඟ නින්ද නොලැබුණෙ  පවකින්ද



ගජමන් නෝනා-

කුන්ද මවන පොඹ කළ මැති සඳුන්   ලසා

අන්ධකාරයට ඇවිලුණ පහන          නිසා

නන්ද මනන දිලුනත් රූපෙන්   සතොසා

නින්ද බැරිය මා ළඟ ඔඹ සිතන    ලෙසා     ( ජයසේකර 2002 පිටුව 06)

අන්තර්පුද්ගල සන්නිවේදනයේදී කවිය බොහෝ උපකාරී වන බව අන්දරේ ඇසුරින් ගොඩ නැගී ඇති රස බර කථාන්දරයන්ගෙන් ද පැහැදිලි වේ. පහතින් දැක්වෙන්නේ රජතුමා හා අන්දරේ අතර සිදු වන කවි හුවමාරුවකි.

රජතුමා-

දාර දෙකයි එක නම මුල් කරගෙන  තැනුවා

පාර තිහක් ගැහුවත් බියකුත්           නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට   ඇතුවා

තෝරාපන් ඊයෙ මගදී                        දුටුවා

අන්දරේ-

දාර දෙකක් එක මැද එක              ගැවසීය

වට පිට යන කලට සතරෙන්              යාය

ගෙට වැඩි කලව කිසි බියකුත්   නැතුවාය

මට දැනෙනා ලෙස මහ රජ         ඉබ්බාය



අන්තර් පුද්ගල සන්නිවේදනය නිර්මාණශීලීව ග්‍රාහකයාට ප්‍රියතාවයක් ඇකිවන ආකාරයට කවිය මගින් ඉදිරිපත් කළ හැකිය.

එක්තරා තරුණයකු  මහමග දී මුණ ගැසෙන තරුණියකට තමන් සමග රැයක් පහන් කරන ලෙස ඉල්ලීමක් කරන්නේ මෙසේය.



අල්ලාගෙන නෙරිය අතකින්  කිම්ද  නගෝ

වසාගෙ දෙතන අතනින් කිම්ද          නගෝ

සැමියා නොමැති මග කනියම කිම්ද නගෝ

අම්බලමේ නැවතීලා යමුද                 නගෝ



තරුණියගෙන් එයට ලැබෙන පිළිතුරැ කවිය මෙසේය.

අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා

වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි  හින්දා

බාල මස්සිනා පස්සෙන් එන       හින්දා

යන්නම් අයියන්ඬි ගම රට දුර    හින්දා

ජනශ්‍රැති අධ්‍යයනයේදී පුද්ගලාන්තර සන්නිවේදනයයේදී කවිය උපක්‍රමශීලීව අලංකාරවත්ව යොදාගත් අකාරය ඉත සඳහන් ලෙස දැක්විය හැකිය.

                                                                                    ඉරේෂා නදීශානි

Sunday, 7 May 2017

නව මාධ්‍ය හා දේශපාලනය




වර්ෂ 1945න් පසුව ලොව කොටස් දෙකකට බෙදීම ආරම්භ කරන ලද සීතල යුද්ධය ජය ගැනීමට නව සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම සිදු විය. මේ හරහා ලොව ඉලෙක්ට්‍රොනික තාක්ෂණික මාධ්‍යයන් ඔස්සේ සන්නිවේදනය සිදුකිරීම වේගවත් විය.
20 වන සියවසේ අගභාගය තෙක් ලොව වඩාත් ප්‍රචලිතව පැවති පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය සහ රූපවාහිනිය සම්ප්‍රධායික මාධ්‍යයන් බවට පත් කරමින් චන්ද්‍රිකා තාක්ෂණය, අන්තර්ජාලය හා ඩිජියල් තාකෂණය හරහා නව සන්නවේදන ක්‍රමවේදයන් රාශියක් සන්නිවේදන ක්ෂේත්‍රයට එකතු විය.
සමාජ මාධ්‍ය ( ෆේස් බුක් , ට්විටර්  Google + ) චැට් රෑම්, විද්‍යුත් ලිපි, අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන පරිශීලක සමාජ , වෙබ් දැන්වීම්, තොරතුරු එක්රැස් කරන හා ඉදිරිපත් කරන මාධ්‍ය ( විකිපීඩියා, විකිලීස්, Mashable, Redit)වෙබ් අඩවි ජංගම දුරකථන ආදී මාධ්‍ය භාවිතයන් රැසක් මේ ගණයට වැටේ.
නව මාධ්‍ය වශයෙන් හැදින්වෙන මාධ්‍ය භාවිතයේ දී හඳුනාගත හැකි විශේෂම ලක්ෂණය වන්නේ ග්‍රාහකයන්ගේ ප්‍රතිපෝෂණ හා අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මත වැඩි වශයෙන් රඳා පැවතීමයි.
සන්නිවේදන ක්‍රියාවලිය තුළ නව මාධ්‍ය භාවිතයේදී තවදුරටත් පහත ලක්ෂණ හඳුනාගත හැකිය.
·         නව මාධ්‍ය අන්තර්ගතයන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට ඩිජිටල් උපාංග හරහා ප්‍රෙවේශ වීමට ඇති හැකියාව.
·         ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් පැවතීම.
·         ග්‍රාහක ප්‍රතිපෝෂණ සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය ක්ෂණිකව සිදුවීම.
·         පාඨ , රූපක සහ වීඩියෝ සම්මිශ්‍රිතව වේගවත්ව තොරතුරු ගලනය කළ හැකි වීම,
·         ඒ ඒ නව මාධ්‍යවලට සුවිශේෂී පරිශීලක ප්‍රජාවක් බිහි වීම.
නව මාධ්‍ය හරහා තොරතුරැ නිර්මාණය , ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම සහ පරිශීලණය කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට සිදු කළ හැකිය. මේ නිසා නව මාධ්‍ය භාවිතය සමාජ ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදි. ඒ අතරින් නව සහශ්‍රයේ විශාලම බලපෑම සිදු වූයේ දේශපාලන ක්ෂේත්‍රයටයි.
දේශපාලනය හුදෙක් මැතිවරණ කාල සීමාවට පමණක් සීමා නොවෙමින් දේශපාලකයන් හා ජනතාව අතර පුළුල් සබඳතාවක් දීර්ඝ කාලීනව සැලසුම් සහගතව ගොඩනැගීමට නව මාධ්‍ය සමත් වී ඇත. නව මාධ්‍ය හරහා දේශපාලකයන් සහ ජනතාව අතර පවතින සම්බන්ධතාවය නිරන්තරයෙන් යවත්කාලීන වන ඩිජිටල් සබඳතාවක් බවට පත්ව ඇත. මේ ඔස්සේ පාලන බලයේ නියැලෙන පිරිස මෙන්ම විපක්ෂයේ කටයුතු සම්බන්ඳයෙන්ද නිරන්තරයෙන් දැනුවත් සහ සම්බන්ධව කටයුතු කරන පුරවැසි ප්‍රජාවක් බිහිකිරීමට ද නව මාධ්‍ය දායකව ඇත.
නව මාධ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි තත්වයට පත්වීමට හේතු වු කරුණු අතර දේශ සීමා හෝ වෙනත් භෞතික බලපෑම් වලින් නිදහස්ව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ප්‍රබල වේ.
නව මාධ්‍ය විසින් මෑත කාලීනව දේශපාලන වෙනස්කම් සිදු කළ අවස්ථා නිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
2008 වර්ෂයේ ඇමරිකානු ජනාධිපතිවරණය උදෙසා බැරැක් ඔබාමා විසින් නව මාධ්‍ය හරහා ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය දැක්විය හැකිය. මෙම මැතිවරණ ව්‍යාපාරය ඉතිහාසයේ ප්‍රථම වරට නව මාධ්‍යයේ බලය උපරිම ලෙස යොදාගත් දේශපාලන ව්‍යාපාරය ලෙස හැදින්වීය. සමස්ථ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා ‍ෆේස්බුක් ,ට්විටර්,යූ ටියුබ් ආදී සමාජජාල මාධ්‍ය හා බ්ලොග් සහ වෙබ් අඩවි වැනි නව මාධ්‍ය 15 ක් හරහා මිලියන ගණනක ඇමරිකානුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී තම ජයග්‍රහණය සනිටුහන් කරගැනීමට බැරැක් ඔබාමාට හැකිවිය.
2011 වසරේ මැයි මාසය තුළ නව දේශපාලන වෙනසක් ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ දියත් වූ 15-M ව්‍යාපාරය ද දේශපාලනය තුළ නව මාධ්‍යයේ බලපෑම මනාව ප්‍රකට වූ අවස්ථාවකි.
දේශපාලනය තුළ නව මාධ්‍යයට සිදු කළ හැකි බලපෑම ඉතා හොඳින් පැහැදිලි වූ තවත් අවස්ථාවක් ලෙස 2009 අප්‍රේල් මස 07 දින මොල්ඩෝවා ජනරජයෙහි  පැවති මහ මැතිවරණය නැවත පවත්වන ලෙස නව  මාධ්‍ය හරහා ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරය පෙන්වා දිය හැකිය. මෙම විප්ලවය ට්විටර් විප්ලව ලෙසද හැඳින් වේ.
ඉන්දියානු අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා තේරී පත් වීම හා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත් වීම ද නව මාධ්‍යයන්හි ප්‍රබල දායකත්වයෙන් සිදු විය.
මානව ඉතිහාසය තුළ මින් පෙර නොතිබූ තරම් කාර්යක්ෂම දේශපාලන සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නට නව මාධ්‍ය පදනමක්ව ඇත. තාක්ෂණයේ අනාගත දියුණුවීම් හා ව්‍යාප්තීන් හමුවේ මෙම තත්ත්වය අනාගතයේ දී තවත් පුළුල් වු ඇත.


                                                                                                                        ඉරේෂා නදීශානි

කුසගින්න