Thursday, 3 August 2017
Wednesday, 26 July 2017
රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය
රුසියානු ලේඛකයකු වන අලෙක්සැනදර්
සිනොවි යෙෆ්ගේ The Russiam Tragedy ;The Death of a
Utopia
නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස රුසියානු
ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නම් කෘතිය රුසියානු බසින් සිංහලයට නගා ඇත්තේ ලේඛක
එච්. ජයරත්න විසිනි.
ලොව
ප්‍රබල සමාජවාදී රාජ්‍යයක්ව පැවති සෝවියට් දේශයේ බිඳ වැටීම පිළිබඳව රුසියානු
ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නම් පරිවර්තනය තුළින් කියැවේ. රුසියානු දේශපාලන
පෙරළියේ ගොදුරු බවට පත්වූ කෝටි සංඛ්‍යාත පවුල් අතරින් එක් පවුලක් හරහා සියළු
දෙනාටම අත්වූ ඉරණම සමාජ විද්‍යාත්මකව විග්රහ
කිරීම මෙම පරිවර්තය තුළින් සිදු වේ. ඒ අතර
ප්‍රබල ලෙස දැක්වෙන විවේචකයකුද මෙම ග්‍රන්ථය තුළ
අපට මුණගස්වයි.
සෝවියට් දේශය බිඳ වැටුණේ ඇයි? මෙය යළි
ගොඩනැගිය නොහැකිද යන්න පිළිබඳව ලොව බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ කරුණු රැසකට
පිළිතුරු සපයන රුසියානු ශෝකාන්තය පිය පුතු දෙදෙනකු අතර වන සංවාදයක් ලෙසත්, අතරමගදී
මුණගස්වන විවේචකයකුගේ අදහස් වලින් යුතු ලිපි එකතුවක් ලෙසත් සැලකිය හැකිය. නවකතාවක්
ලෙස හැඳින්වුවද මෙහි අඛණ්ඩව ගලා යන චරිත දක්නට නැත. පොදුවේ සලකන විට දේශපාලනමය, සමාජ විද්‍යාත්මක
පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකිය.
The Russiam Tragedy ;The Death of a
Utopia
එදචස් නම් රුසියානු කෘතියේ කර්තෘ
අලෙක්සන්දාර් සිනොවියෙෆ් සම්බන්ධවද පැහැදිලි කිරීමක් කරන පරිවර්තකයා, කතුවරයා
මුල්වරට 1976දී ‘මුදුනෝ ඈනුම්
අරිති’ නමින් කෘතියක්
පළකර ඇති බව පවසයි. සිනොචියෙෆ් සෝවියට් විරෝධී ලේඛකයකු මෙන්ම ප්‍රකට තර්ක ශාස්ත්‍රඥයෙක්ද
වේ. ස්ටාලින්ගේ පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළ ඔහු පසුව රටින් පලායයි. එසේ වුවද
සෝවියට් දේශය බිඳ වැටීම රුසියානු ජනතාවගේ අභාග්‍යයක් ලෙසද ඔහු දකියි.
රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය
පරිවර්තය තුළ උතෝපියාවේ අභාවය යනු
කවරක්දැයි කරන විග්රහයක මෙසේ දැක්වෙයි.
“සියලූ
පුරවැසියන් එක හා සමාන, දුප්පත්
පොහොසත් භේදවලින් තොර සියලූ සෞභාග්‍යයෙන් සම්පූර්ණ වූ උතෝපියා නම් දූපතක් පිළිබඳව
තෝමස් මුචර් ස්වකීය ග්‍රන්ථයක සඳහන් කොට ඇත. එම දූපත ආදර්ශයට ගෙන අනෙක් රටවලද
පරමාදර්ශී පාලනයක් ස්ථාපිත කළ යුතු බව එමගින් ඔහු ලොවට කියා පෑවේය. ඔහුගේ උතෝපියාව
මිහිබට සුරලොවකි. හෙවත් කේතුමතී රාජ්‍යයකි. ඒ උතෝපියාව සෝවියට් දේශයේ ගොඩ නගා තිබූ
බවත්, සෝවියට් දේශය
බිඳවැටීම නිසා උතෝපියාව අභාවයට ගිය බවත් ‘රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය
යන්නෙන් අදහස් වෙයි.” (පිටුව 10)
සෝවියට් දේශය බිඳ වැටීමට පෙර උතෝපියාවේ
පැවති තත්ත්වය කවරේදැයි ඒ විස්තරය අපට
අඟවයි. ප්‍රබල සමාජවාදී රාජ්‍යයක්ව තිබූ රුසියානු රාජ්‍ය බිඳ වැටීම සමස්ත
ලෝවැසියන්ගේ අවධානයට ලක්වූ කරුණක් මෙන්ම අදද අවධානයට ලක්වෙමින් පවතී. එසේ වීමට
හේතුවූ කරුණු රැසක් කෙරෙහි කතුවරයාගේ අවධානයට ලක්වේ. එහි ප්‍රධාන කරුණු අතර
ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් හා ඔවුන්ගේ ඔත්තු සේවාවන් විසින්
සෝවියට් දේශයට විරුද්ධව ගෙන යන ලද විනාශකාරී වැඩපිළිවෙළ, සෝවියට් ප්‍රධානීන්ගේ
දුර්වලකම් හා සාමාජික සමූහාණ්ඩුවල පාලකයන්ගේ ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් වෙනුවෙන් මධ්‍යගත
පාලනයෙන් බිඳීයාමට ගත් උත්සාහයන්, ඒ සඳහා ගර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයෝජනයට
ගැනීම, බහුජාතික රාජ්‍යයක්
වූ සෝවියට් දේශය තුළ බෙදුම්වාදය ඉස්මතුවීම, නිබඳව දැකිය හැකිවූ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, චෙර්නොබිල්
ඛේදවාචකය, ගෑස් නළ
පිපිරීම්, ගුවන් යානා
අනතුරු, සබ්මැරීන්
අනතුරු වැනි ඛේදවාචකයන් පිළිබඳ තොරතුරු සැඟවීමෙන් මහජනයාගේ අප්‍රසාදය ලියලා යෑම
වැනි කරුණු ඒ අතර වූ බව පැහැදිලිව දක්වා ඇති බව පෙනේ.
සෝවියට් දේශය බිඳ වැටීමට හේතුවූ කරුණු
විස්තර කරන කතුවරයා සෝවියට් බිඳ වැටීම් සිද්ධි මාලාව පිළිබඳවද විස්තරයක් කරයි. 1985 වසරේදී
ගර්බචොෆ් විසින් පෙරෙස්ත්‍රොයිකා ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම රටේ දේශපාලන ජීවිතය
තුළ විශාල පිබිදීමක් ඇතිවිය. විවිධාකාර ජනතා සංවිධාන හා විශේෂයෙන් රැඩිකල් දේශපාලන
ව්‍යාපාර හා සංවිධාන බිහිවන්නට පටන් ගත්තේය. 1989-91 කාලය තුළ අත්‍යවශ්‍ය
භාණ්ඩවල උග්‍ර හිඟයක් ඇතිවිය. පාන් හැර අන් සියලූම භාණ්ඩ පාහේ සලාක ක්‍රමයට
බෙදාදීම ආරම්භ විය.
වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්
නොවීමේ ගර්බචොෆ් ප්‍රතිපත්තිය මත සමාජවාදී කඳවුර බිඳ වැටෙයි. එම රටවල කොමියුනිස්ට්
ආණ්ඩු ද බිඳ වැටෙයි. චෙකොස් ලෝවැකියාව 1989 දීද, පෝලන්තය 1990 දීද , රුමේනියාව 1989 දීද, නැගෙනහිර
ජර්මනිය 1990දීද , බල්ගේරියාව 1989දී ආදි වශයෙන්
බිඳවැටීම සිදුවිය
සීතල යුද්ධය, පෙරිස්ත්‍රොයිකා ව්‍යාපාරය, යකඩ තිරය
ගැලවීම, පශ්චාත්
කොමියුනිස්ට් ක්රමයේ ප්‍රකට ලක්ෂණ, රුසියානු කොමියුනිස්ට් වාදය, රුසියාව යළි
ගොඩ නැගූ හැටි, ගෝලීයකරණයේ
මතවාද, වර්තමාන ලෝක
භූ දේශපාලනය හා ගෝලීයකරණය ආදි අනුමාතෘකා රැසක් ඔස්සේ දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
එපමණක්ද නොව පුටින්ගේ පාලනය සම්බන්ධවද කතාබහ කරන මෙහි යළි සෝවියට් දේශය ගොඩනැගීමට
ඇති ඉඩකඩ පිළිබඳවද සාකච්ඡා කිරීමට ඉඩ වැය කරයි.
ලෙනින්, ස්ටාලින්, නිකීතා කෘෂේෆ්, බ්රෙවෂ්නෙෆ්, ගර්බචොෆ් හා
පුටින් යන පාලකයන්ගේ පාලන ස්වරූපයන්, ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගත්, ඉන් සිදුවූ
යහපත් අයහපත් ප්‍රතිඵල පිළිබඳවත් ගැඹුරින් විග්රහ කිරීමට කතුවරයා සමත් වෙයි. එම
කරුණු සිංහල පාඨකයාට මනා ලෙස අවබෝධ කරගැනීමට පහසු ලෙස ඉදිරිපත් කිරීමට පරිවර්තක
ජයරත්න ගෙන ඇති මහන්සිය මෙහි අග්රඵලයයි.
සෝවියට් සමාජවාදී රාජ්‍යය පිළිබඳව යහපත්
දැක්මකින් පසුවූ කවරකුට මෙන්ම දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන කවරකුට වුවද
දැනුමක් අවබෝධයක් ලබාගැනීමට ‘රුසියානු ශෝකාන්තය අත්වැලක් මෙනි. සාමාන්‍ය
රුසියානු නවකතාවකට පරිබාහිරව රුසියානු සාහිත්‍යයට අයත් අංගයක් කෙළින්ම සිංහලයට
පරිවර්තනය කළ ප්‍රථම අවස්ථාවක් ලෙසද මෙහි සඳහන් වේ. ඒ සඳහා සරල සුගම බස් වහරක්
අනුගමනය කිරීමෙන් පැහැදිලිවන්නේ පරිවර්තකයා සතු රුසියානු-සිංහල දෙබස පිළිබඳව ඇති
දැනුමයි.
සෝවියට් නායකයන් වූ ලෙනින්, ස්ටාලින්, නිකිතා කෘෂෙෆ්, ලියොනිඩ්
බ්රෙසෂ්නෙෆ්, යුරි අන්ද්රෝට
පොෆ්, මිහයිල්
ගොර්බචොෆ් ආදීන්ගේ ඡායාරූප පෙළක් එකතු කර ඇති අතර ඔවුන්ගේ ජීව දත්ත හා ඔවුන්ගේ
පාලන කාල සීමා පවා සඳහන් කර තිබීම අගනේය. පරිවර්තකයා සරල බස් වහරක් අනුගමනය කරයි.
එමෙන්ම අන්තර්ගතයේ සැකමුසු හා විස්තරාත්මකව දැනගැනීමට අවශ්‍යය අයෙකුට ප්‍රයෝජනවත්
වන අයුරින් උපග්‍රන්ථයක්ද එකතු කර තිබීම ඇගයිය යුතු කරුණකි.
වාමාංශික දේශපාලනය මෙන්ම වර්තමාන ලෝක
දේශපාලනය පිළිබඳවද උනන්දුවක් දක්වන කවරකුට වුවද කියවිය යුතු කොමියුනිස්ට් සමාජය හා
මාක්ස්වාදය පිළිබඳව අත්පොතක් ලෙසද, මෙය හැදින්විය හැකිය. ආණ්ඩුවක් නිසා ජනතාව
විඳින අපහසුතා මෙන්ම ජනතාවගේ යහපත
වෙනුවෙන් ආණ්ඩුවකට බොහෝ දේ කළ හැකි බවද ‘රුසියානු ශෝකාන්තය අපට කියාදෙයි.
Thursday, 6 July 2017
සමාජයෙන් දුරස්වන කියවීම
හුදකලාවේදී හා විවේකයේදී ප්‍රීතියටද, කතාබහේ දී හා විවාදයේදී
බැබලීමටද කියවීම උපකාරී වන බව සර් ප්‍රැන්සිස් බේකන්ගේ අදහසයි.බොහෝ දේ කියවන්නා
ඇවිදින පුස්තකාලයක් බවද තවත් අදහසකි. හොඳ පොතක් කියවා එය රස විඳිය හැකි පුද්ගලයා
බොහෝ විට ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයෙකි. ජීවිතය දෙස මැදහත් සිතින් යුතුව
බලන්නෙකි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන සනාථ කරන්නාක් මෙන් කියවන්නා
යථාර්ථවාදී ජීවිතය ගත කරන පුද්ගලයෙකි.
වර්තමාන සමාජය තුළ මෙම පුද්ගලයන්ගේ අඩුව බොහෝ සේ දකින්නට
ලැබෙන්නෙකි. මිනිසා සමාජයේ කෘර , හිංසාවාදී ක්‍රියා බොහෝ සිදු වේ. එයට හේතුව අද වන
විට ළමා, තරුණ, වැඩිහිටි පිරිස් එක සේ කියවීමෙන් දුරස් වී විද්‍යුත් මාධ්‍ය, වෙබ්
අඩවි, මුහුණු පොත, සමාජ ශාලා , පරිගණක ක්‍රීඩා හා බැඳෙමින් අන්තර්ජාලයේ සැරිසරමින්
, ඉන්ටනෙට් කැෆේවල තම කාලය කා දමමින් ජීවිතය තුළ අතරමං වී සිටින බැවිනි. එම නිසා
අද වනවිට තරුණ පරපුර අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ඇත.
පුද්ගලයෙකුගේ සාහිත්‍ය රසඥතාවය ඉහළ නැංවීම උදෙසා හොඳ ,
අර්ථවත් ග්රන්ථයක් පරිශීලනය කළ යුතුය. එවිට අනාගතයට රසවිඳිය හැකි ග්රන්ථ බිහිකරන
ලේඛකයන් බිහි කරගත හැකිය.නමුත් වර්තමානයේ කියවීමේ රුචිය අවම මට්ටමින් පවතින නිසා
සමාජයට අවශ්‍යය අර්ථවත් , යහපත් ග්රන්ථ බිහි කරන ලේඛකයන් ප්‍රමාණය දිනෙන් දින අවම
වෙමින් පවතී. ලේඛකයා බහුශ්‍රැත විය යුතුය, ඒ සඳහා කියවීම අත්යවශ්යවන්නේය. හොඳ පොතක් කියවීම යනු යහපතු මිතුරකු ඇසුරු
කිරීමක් වැනිය. නිරිමාණාත්මක සංකල්ප හා චිත්ත රූප මවා ගැනීමේ හැකියාව කියවීම
අනුසාරයෙන් සාර්ථක වන්නේය.
දාර්ශනික
ග්රන්ථයක් කියවා ලබාගත හැකි මානසික ප්රබෝධය ඉන්ටනෙට් කැෆේවල රස්තියාදුවන තාරුණ
පරපුරට කිසිදිනක ලබාගත නොහැකි බව තරුණ පරපුරට වටහා දිය යුතු කාලය පැමිණ අතැයි
සිතමි. නැතහොත් කියවීම අතීතයට පමණක් වලංගුවන වචනයක් නක බව නොඅනුමානය. තාරුණ්‍යයේ
පරිකල්පන ශක්තිය වැඩිකර උසස් ජීවිත පරිඥානයක් යුතු යහපත් සමාජයක් බිහි කර ගැනීමට ගත
යුතු හොඳම පියවර සමාජය තුළ කියවීමේ සංස්කෘතියක් ඇති කිරීමයි.
Thursday, 15 June 2017
Tuesday, 13 June 2017
ගීයක අරුත
මහාචාර්ය
සුනිල් ආරියරත්න විසින් 1999 නවාතැන්පොළ නම් ගීත සමුච්චය සඳහා රචනා කළ මෙම ගීතය
නන්දා මාලනියගේ මියුරු හඬින් ගායනා වුණා. ඒ යුගයේ රමණීයම නිර්මාණ අතර තවත් මධුර
ගීතයක් වුණා මෙම ගීතය. මේ ගීතය මගින් ප්‍රකාශ වන්නේ ප්‍රේමයේ පවත්නා අති නිමල
පාරිශුද්ධත්වයයි. ප්‍රේමය යන වචනය දවන වැකෙන විටම එය රාගය හා මුසු වූ විරුද්ධ ලිංගික
බැඳීමක් කියලයි. එහෙත් මෙහි එන ගීතය මගින් කියන්නේ එය සඳ එළිය සේ පාරිශුද්ධ අති
නිරිමල දෙයක් කියලයි. ප්‍රේමය කියන්නේ අති නිරිමල හැඟීම් මාත්‍රයකි. එහි දැඩිකොට
ගන්නට දෙයක් නැහැ. කොටින්ම ප්‍රේමය අකාම කාමයක්, විරාග රාගයක් , අවේදයික වේදිතයක්
, අනාලම්භිත ආලම්බනයක්, පරිත්‍යාගය කේන්ද්‍ර කොටගත් දෙයකි.
එවන් ප්‍රේමයක්
අප සතු ජීවත්වන සමාජය තුළ දකින්න අමාරුයි. වර්තමාන මානවයාගේ ප්‍රේමය විවිධ රාමු
වලින් ආකෘති ගත වෙලා. දෑවැද්ද , මුදල්, රැකියාව වෙනත් පුද්ගලයභාවයන් සමාජ තත්ත්ව සම්ප්රදාය විසින් ලබා දුන් සංකල්ප
ආදියෙන් කොටු වෙලා. එහෙත් ඒ රාමු බිඳලයි ප්‍රේමය කළ යුත්තේ. ප්‍රේමය දෙන්න තියෙන
දෙයක් මිස ගන්න දෙයක් නෙමෙයි. ප්‍රේමය පරිත්‍යාගයක් මිසක් ලබන්නක් නොවේ. එවැනි
උතුම් ප්‍රේමයක් පවතින නෙනෙකුගේ මුහුණේ , ඇස්වල හා කතා නරන වචනවල පවා දැකිය හැකි
විශේෂත්වය මෙම නිර්මාණය මගින් පැහැදිලි කරයි. එවන් අයෙකුගේ අතිශයින් ප්රභාමත්ය.
එහෙත් එහි ඇතිතේ තවුසකුගේ වැනි නිශ්චල , අකම්පස ස්වභාවයකි. එම දෑසෙහි පවා පවතින්නේ
භාවනාවක් කරන අවස්ථාවක එම යෝගියාගේ දෑසට සමවන මෛත්‍රී විලාසයක්ය.
කතාකරන වචනවල
පවා අපට ඇසෙන්නේ පරම පිවිතුරු විලාසයක්. එය හරියට කුරැල්ලෙකුගේ සතුනා මියැසියට සමාන
බව ගීත රචකයා කියයි.වනන්තරයක සතුටින් ගී ගයන කුරුල්ලාගේ හඬ අතිශයින් සුමියුරුය. එමෙන්ම
එය නිර්ව්යාඩජය. අදින් වසර දහස් ගණනකට පෙර කොවුලා ගැයූ ස්වරයෙන්ම අදත් වූ ගායනා
කරනවා. කුරුලු හඬ පරිනාමය වන්නෙ සෙමින්. මිනිස් වචන කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද.
එවැනි වෙනසක් , ව්‍යාජත්වයක් නිර්මල පෙම්වතෙකුගේ හෝ පෙම්වතියකගේ දැකිය නොහැකි බවයි. ගේය පද රචකයා පවසා සිටින්නේ. ප්‍රේමය පිළිබඳ ලියැවුණ රමණීය ගීතයක් සේම හුදෙක් අද
ඇසෙන අඳෝනා වෙනුවට මෙම ගීතය වැනි නිරිමාණ අපගේ භාවපථය මොන තරම් පෘථුල කරනවාද යන්න මෙහිදී
සිහිකළ යුතුය.
Saturday, 10 June 2017
දේශීය ආහාර රටාවට මොකද වුණේ?
දෙල් , කොස් , බතල, කුරක්කන් ,තල , මුං , උඳු , මෙනේරි , කවුපි වැනි දේශීය ආහාර
සමග සැකසුන අපේ ආහාර වට්ටොරුව අතීත මිනිසා නීරෝගී පුද්ගලයෙකු බවට පත් කිරීමට සමත්
විය. කුරක්කන් පිට්ටු සමග මුං මැල්ලුම හා වැව්මාළු ව්යංජනේක රස නොබැලූ
කිසිවකු මීට වසර දහයකට පෙර අපේ ගම් වලින් සොයාගත නොහැකිය. වස විසෙන් තොර එවැනි
දේශිය ආහාරවලින් පෝෂණය වන පුද්ගල ශරීර බෝ නොවන
රෝගයකට ගොදුරු වූයේ ඉතාම අල්ප වශයෙනි.
ලෙඩ රෝග වලින් ආරක්ෂා
වීමේ ප්‍රතිශක්තීකරණ බලය එම ආහාරවලට නිපදවීමේ හැකියාවක් පැවතිණි. අතීත මිනිසාගේ
ආයු කාලය අවුරුදු 80-90 දක්වා පැවතීමට බලපෑ ප්‍රබල සාධකය වූයේ දේශීය ආහාර
වට්ටෝරුවයි.
කොස්, දෙල් , බතල වලට සීමා වූ අපේ
ආහාර වට්ටෝරුව අභිබවා නැඟී සිටි විදේශීය ආහාර සංස්කෘතිය දේශීය නිරෝගී පුද්ගලයා හට
වස දෙන්නට විය. මේ පිළිබඳ නිසි තතු නොදත් දේශීය ජනතාව රැල්ලට යන විදේශීය ආහාර සංස්කෘතිය ඉතා සතුටින් ඔඩොක්කුවට කොටා
ගත්තේ කිසිදු විමසීමකින් තොරවය.
ක්ෂණික ආහාර, පිසින ලද ආහාර ,
විවිධ රස කාරක හෝ
වර්ණක යෙදූ ආහාර , විවිධ බීම
වර්ග වටා ගොඩනැගුණ වෙනම ජනප්‍රිය සංස්කෘතියක් ඇති කිරීමට සමත් වූ විදේශීය ආහාර
වර්තමානය වන විට ලාංකීය තරුණ පරපුර අතර කුරක්කන් තල මෙනේරි නොහඳුනන පරපුරක් බිහි
කිරීමට සමත් වීය.
මේ හේතුවෙන් ලංකාව අද
වන විට බෝ නොවන රෝග
ලෙස හඳුන්වන දියවැඩියාව, රුධිර පීඩනය(අඩු/වැඩි) , පිළිකා, හෘද්‍යාබාද, කොලෙස්ට්‍රෝල් වැනි මිනිසා විනාශ කිරීමට හැකියාව පවතින ලෙඩ
රෝග වලින් පෙළෙන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. අඩු වයසින්ම මෙවැනි රෝගාබාධ වලට
ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර මිනිසාගේ ආයු කාලය පෙරට වඩා පහළ මට්ටමකට
පැමිණ තිබේ.
මෙයට මූලිකවම වග කිව
යුත්තා මාධ්‍ය යැයි මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මක්නිසාද යතොත් විදේශීය ආහාර
සංස්කෘතික බීජය ලංකාව තුළ වපුරන්නට මූලික වූයේ මාධ්‍යයි. වාණිජ පරමාර්ථ
මුල්කරගනිමින් සිදු කළ ඒ ප්‍රචාරණ තුළින් ශ්‍රී ලාංකීය පුරවැසියා එය ඉස් මුදුනින්
පිළිගෙන අනුගමනය කරන්නට විය.
එබැවින් සිදු විය යුත්තේ දේශීයත්වය අගය කරමින්
අතීතයේ මෙන් කොස් දෙල් කුරක්කන් වැනි දේශීය ආහාර මත යැපෙන ආහාර සංස්කෘතියක් රට තුල
ඇති කිරීමයි. මිනිසා නිරෝගී වීම තුළින් නුදුරේදීම සංවර්ධිත ශ්‍රී ලංකාවක් වෙත
පිවිසීමට හැකිවනු නියතය.
Thursday, 8 June 2017
මග බලමි ගිමිහානයට
සංසාර පුරුද්දට මුණ ගැසී
වෙන් වුණේ අපි අපෙන්
දුකම මට හිමි
නිසා................
හිනා වෙන්න හිතුවත්
කඳුල ඔච්චම් කරයි
නුඹ ගැනම
මතකයෙන්........
නිමා වූ වසන්තය
හිත් කොනක ගුලි කරන්
මග බලමි
ගිම්හානයට.........
Wednesday, 7 June 2017
අනුබුදු මිහිදු හිමි ලක්දිවට වැඩමකළ පොසොන් පොහොය
වෙසක්
පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දිනයයි. පොසොන්
පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල
නම් තෙරුවන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද, පණ්ඩුක උපාසක ද ලක්දිවට වැඩම කර බුද්ධාගම
ස්ථාපනය කිරීම හේතුවෙන් මෙරට ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් විශාල
පෙරළියක් සිදු විය. යක්ෂ, භූත, ප්‍රේතයන් හට බියෙන් බිළිපූජා පවත්වමින්, අප්‍රාණික
සුවිශල් ගස්, ගල් වලට වන්දනාමාන කල යුගයක සපැමිණි මිහිදු
මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස නිර්මල බුදුදහම ලංකාදීපයෙහි ස්ථාපිත කෙරුණු ඓතිහාසික
සංධිස්ථානය සිහිකරනු වස් සෑම වසරකම පොසොන් පොහොය දින වත්පිළිවෙත් සිදුකරනු ලබයි.
ඉන්දියාවේ සිට මෙහි වැඩම කළ මිහිදු
හිමි ධර්මාශෝක
රජතුමාගේ පුත්‍රයෙකි. ධර්මාශෝක
රජතුමා රටවල් 9
කට ධර්ම දූතයන් පිටත්කර හැරීමේදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ධර්ම දූතයා තම පුත්
මිහිඳු බවට තීරණය කිරීම ලක්වාසීන්ට කරන ලද මහත් ගෞරවයකි. අනෙකුත් ධර්ම දූතයෝ ඒ ඒ
දේශවලට වහා පිටව ගිය නමුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට එසේ වැඩම කළේ නැත.
මිහිඳු
හිමියෝ ධර්ම දූත මෙහෙවර පිණිස ලංකාවට පැමිණීමට පෙර මෙරට දේශපාලනය, සමාජ තත්ත්වය හා ආගමික වටාපිටාව
හොඳින් නිරීක්ෂණය කළහ. ඒ අනුව මහලු මුටසීව රජුගෙන් පසු තරුණයකු රාජ්‍යත්වයට
පත්වනතුරු මිහිඳු හිමියන්ගේ ආගමනය පමා විය. මහළු මුටසීව රජුගෙන්න පසු ඔහුගේ පුත්
දෙවන පෑතිස් රජුගේ පාලන සමය තුළ ලංකාවට වැඩම කළ මිහිදු හිමියන් දේවානම්පියතිස්ස
ඇතුලු පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුනි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු
හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැළකේ. ධර්මාවබෝධය තුලින් බුද්ධ
ධර්මය කෙරෙහි සිත නැඹුරු කරගත් තිස්ස රජු ඇතුලු රාජකීයයන්
බුද්ධාගම වැලඳගැනීමත් සමගම ගම් නියම්ගම් පුරා බුදුදහම ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන්
ජනතාව ඈත්කරවමින් සුමගට යොමු කරවීමට සමත් විය.
Monday, 5 June 2017
Friday, 2 June 2017
පැමිණීම හා ගෙන්වාගැනීම
පසුගිය දිනවල
ඇද හැලුණ වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක
ගණනාවකට අයහපත් ලෙස බලපාල තියෙනවා. ඇති වූ නායයාම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන්
විශාල පිරිසකට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වුණා. ජීවිතය කාලය පුරාවට හරිහම්බ
කරගත් දේපළ මෙන්ම තම ඥාති හිත මිතුරන්ද පස් කඳුවලට හා මහා ජල කඳට යට වී විනාශ වී
ගොස් හමාරය.
රටේ කුමක් හෝ සිදුවීමක් සිදු වූ විට ඒ පිළිබඳව
විවිධ අදහස් දක්වන විවිධ පිරිස් ඉන්නවනෙ. එවැනි වූ එක් පිරිසකි මේ ගංවතුර හා
නායයාම් තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කරන්නේ රටේ පිලකයන් ලෙස පත් වූ පුද්ගලයන්ගේ පවතින
දෝශයන් නිසා ගංවතුර පැමිණි බවයි. එවැනි අදහස් දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීමට
දඟලන පිරිස් අතරේ ගවත් පිරිසක් පවසන්නේ මෙය දේව කෝපයක් නිසා සිදු වූ විනාශයක්
බවයි.
සිංහල ජාතියට
බෞද්ධ ආගමට සිදු කරන අකටයුතුකම් , කෙනෙහිලිකම් නිසා රට රකින දෙවියන්ගේ කෝපවීමක්
නිසා ගංවතුර පැමිණි බවයි. මේ නිසා දෙවියන්ට දෙස් දෙවොල් තියයි. අත් වී තිබෙන
තත්ත්වය සමනය කරන මෙන් දෙව්යන්ගෙන් ඉල්ලයි. කන්නලව් කරයි.
කෙසේ හෝ සියලු
දේ සිදු වී හමාරය. දහස් ගණනක් අනාථ වී ඇත. උන්හිටි තැන් අහිමි වී ඇත. ප්‍රියයන්ගෙන්
වෙන් වී ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී ඇත.
ගංවතුර පිළිබඳ
විවිධ අදහස් දක්වන පිරිසට කිව යුත්තක් තිබේ. ගංවතුර පැමිණියා නොව අප විසින්ම
ගංවතුර ගෙන්වාගෙන ඇත. නායයාම් තත්ත්වයන් අප විසින්ම ඇතිකරගෙන තිබේ.
අප සියළු දෙනා
ස්වභාධර්මයට යටත් පුද්ගලයන්ය. ස්වභාධර්මයට අභියෝග කරමින් ස්වභාවධර්මය අභිබවා යාමට
දරන උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්වයන් ඇති වී තිබේ.
මෑතකාලීන
මිනිසුන්ගේ අරමුණු කරා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වන විනාශයක් සිදුව තිබේ.
ස්වභාවිකව පැවතුණ වගුරු බිමි ගොඩ කරමින් නව ගොඩ කරමින් නව ගොඩනැගිලි , මාර්ග
ස්ථාපිත කර ඇත. ගංගාවල වැලි අනිසි ලෙස ඉවත් කර තිබේ.
පරිසරයේ
ආරක්ෂාවට ස්වභාවධර්මය විසින් නිර්මාණය කර ඇති දේ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස
ගංවතුර හා නායයාම් ඇති වී තිබේ. සිදු වී ඇත්තේ දෙවියන් කෝපවීමක් නොව කළ කම් පළ
දීමක්ය. ගිය නුවණ ඇතුන්ලවාවත් ඇද්දවිය නොහැකිය.අනාගතයේදීවත් සිහිනුවණ
කල්පනාවෙන් තටහුතු කළ යුතුය. නැතහොත් අනාගතයේ දී මෙයට වඩා භයානක ආපදාවන්ට ගොදුරු
වීමට සිදුවනු නියතය.
ඉරේෂා නදීශානී
Subscribe to:
Posts (Atom)