Sunday, 28 May 2017

දෙවියො දුන් දඬුවමද





















තේ කෑල්ලෙන් ලැබෙන
තුට්ටු දෙක පිරිමහන්
හදාගත් මගෙ ගෙපැළ
බිලි අරන් ගංවතුර

හතර පෝයටම මං
සිල් ගත්තා පන්සලේ
බැරි වුණිද ඒ පිනට
වළකන්න ගංවතුර

කෙළීගේ කල වයස
හරි නිසා දීගෙ දෙන
ගත්තා අල්මාරියක්
ඒක දැන් තෙමිල ඇති

කතරගම දෙව්ඳුනේ
නොපෙනේද අපේ දුක
අනුන් දේ නොගත්තට
දෙවියො දුන් දඩුවමද

                                                      ඉරේෂා නදීශානී

Saturday, 27 May 2017

අම්මා....

අම්මා......






















කුසට අහරක් නැතත්
කුසගිනි නිව්වා මගේ
ගතට වැරහැලි ඇඳන්
සැරසුවා ගත මගේ

සඳ සාවිය නොනිදා
මුලු ලොවම නිදනා රැයේ
මා හින්දා නිදි වැරුවා
සීතලේ පන් පැදුරේ

මහමෙරකි නුඹෙ සවිය
පින් කෙතකි සෙත සදන
ඉපිද මිය යන තුරුම
පතන්නෙමි මා නුඹව

Wednesday, 24 May 2017

ඉමිටේෂන් හීන දරුවන්ට එපා




ජීවිතයේ හැම දෙයක්ම දැන් රේස් එකක් වෙලා. ඒකේ අවසානයක් පේන තෙක් මානයකවත් නෑ. හැමෝම දඟලන්නේ රේස් එකේ ඉස්සරහින්ම දුවන්න.තමන්ට දුවාගන්න බැරි උනොත් තමන්ගෙ දරුවව හරි ඒ රේස් එකට දක්කන්න අම්මල පසුබට වෙන්නෑ. දැන් ඉන්න අම්මල තාත්තලගෙ ලොකුම හීනෙ තමන්ගෙ දරුවව රේස් එකේ ඉස්සරහින්ම ඉන්නව දකින එක. ඉතින් ඒකට අම්මල නොකරන දෙයක් නෑ මුලින්ම කරන්නෙ දරුවව ටියුෂන් කඩවලට කොටු කරන එක'

දැන් ඉන්න ළමයිට කන්න බොන්න වෙලාවක් නෑ. අම්මගෙ තාත්තගෙ ආදරේ විඳින්න වෙලාවක් නෑ. සමවයසෙ යාළුවො එක්ක එකතු වෙලා එලියෙ දුවල පැනල සෙල්ලන් කරන්න වෙලාවක් නෑ. ටියුෂන් කඩ ඇතුළෙ හිර වෙලා අම්මලට ළඟා කරගන්න බැරි වුණ හීනවලට ළඟා වෙන්න උත්සහ කරනවා. එදා ගමේ තිබුණ සෙල්ලං අද උන් අහලවත් නැතුව ඇති. ගමේ දුනල පැනල සෙල්ලං කරපු ළමයි වෙනුවට අද ඉන්නෙ  කම්පියුටර් ගේම් , ස්මාර්ට් ෆෝන් එකෙන් සන්නද්ධ වූ ළමුන් පිරිසක්.

ළමයිගෙ ලෝකේ ළමයින්ට අහිමි වෙලා තියෙනවා.ළමයිගෙ ලෝකෙ ටියුෂන් කඩ ඇතුලෙ පරවෙලා යනවා. පාසලෙන් පසුව ටියුෂන් පන්තියට ගොස් 6-7 වන විට තඩි බෑග් එකක් උස්සගෙන බඩ ගාගෙන ගෙට ගොඩ වෙන යාන්ත්‍රිකයෙක් අද ඉන්නෙ. රාත්‍රී ආහාර වේලෙන් 10-11 වෙනකම්ම ගෙදර වැඩ කරන ඔහු අයෙත් උදෑසන 4 න විට අවදි වන්නෙ නගරයේ කිලෝමීටර ගණනක් එහායින් වූ ජනප්‍රිය සුපිරි පැලැන්තියේ පාසලට යාමටයි.
ජීවිතයේ විඳින්න අවශ්‍ය කාලය ව්ඳවමින් ගත කරන්න  ළමයින්ට අද සිද්ධ වෙලා තියෙනවා. ළමයි හරියට යන්ත්‍ර සූත්‍ර වගේ. ටික දවසක් ය්ද්දි අම්මා හඳුනනෑ තාත්තා හඳුනන්නෑ ආගම දහම හඳුනනෑ, උන් සමාජයට ගියාම උන්ටදාව උපදින දුව පුතා හදුනන්නෑ. 

අද සමාජෙට උදාවෙලා තියෙන මේ තත්වෙ හේතුව සමාජ යථාර්ථයට මුහුණ නොදී රැල්ලට මුහුණ නොදී රැල්ලට යාමයි.දරැවකුගේ ළමා කාලය දරැවකුට විඳින්න දෙන්න ඔන. එවිටයි දරැවා ශික්ෂණයකින් ජීවත් වෙන්න ඉගෙන ගන්නෙ.
රැල්ලත් එක්ක ගහගෙන එන ඉමිටේෂන් හීන අහිංසක දරුවන්ට බලෙන් පළන්දවන්ට කරන වෑයමට තිත කියන්න කාලය උදා වෙලා.



                                                                               ඉරේෂා නදීශානී


                          

Tuesday, 23 May 2017

සඳකඩ පහණෙහි තතු

සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපීපෙනෙන අංගයක් වේ. පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධකවාකාර ගල්පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස කරනවා.


ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී යි.
 
බොහෝ දුරට ලක්දිවට පමණක් ආවේණික වූ කැටයම් අංගයක් වන සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී තිබෙනවා. අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ සෘජු කෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි උපකල්පණය කළ හැකිය. උදා:- මිරිසවැටිය විහාරයේ සඳතඩ පහණ .එය කිසිදු කැටයමකින් තොර වූ අතර හුදෙක් සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවක් බව පමණක් කිව යුතුය.
අනුරාධපුර සඳකඩ පහණේ මීළඟ අවස්ථාව වූයේ සම්පූරණයෙන් පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව මධ්‍යයෙහි නිරූපණය කිරීමයි. උදා:- ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස සඳකඩ පහණ


සඳකඩ පහණ විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය. සඳකඩ පහණ විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන්ද විශිෂ්ටත්වයට පත් විය. අනුරපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය. පිටතින්ම ඇති තීරුවේ හමුවන්නේ ගිනිදැල් හෝ පලා පෙති ය. ඊළඟ තීරුවේ ඇත්, අස්, සිහ, හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරකි. මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි. ඉන් පසුව ලියවැලකි. ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංසපෙළකි. සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් දැනට ලැබී ඇති හොදම සඳකඩ පහණ හමුවී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයා ගෙන ඇත.

ලක්දිව ඓතිහාසික යුගයේ දෙවන උප අවධිය ලෙස පිළිගැනෙන පො‍ළොන්නරු යුගය තුළදී සඳකඩ පහණ සැලැස්මෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් ඇති බව පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ සඳකඩ පහණ කවයකින් 3/4ක් පමණ වන අතර එහි මධ්‍යයේද නිරූපණය වන්නේ පිපුණු මලක 3/4ක් වේ. පොළොන්නරුවේ නෙළුම් මල, අනුරාධපුරයේ ‍නෙළුම් මලට වඩා මඳක් ඉහළට එස වී ඇත.

පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ නිරූපණය කර ඇති රූප අතුරින් ගවයා අතුරුදහන් වී ඇති අයුරු පෙනේ. මෙයට හේතුව හින්දු ආගමේ බලපෑම නිසා බව උගතුන්ගේ පිළිගැනීමයි. හින්දු ආගමේ ප්‍රධාන දෙවියෙකු වන ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පෑගීම අයහපත් ක්‍රියාවක් ලෙස සැලකෙන්නට ඇත. අනුරපුර යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන් ගත් අතර පොළොන්නරු යුගයේදී එක් එක් සත්ත්වයා සඳහා වෙනවෙනම පේළි යොදා ගෙන ඇත. අනුරපුර යුගයේ සඳකඩ පහණෙහි නෙළුම් මල අසලින්ම නිරූපිත හංස පංතිය මේ සඳකඩ පහණේදී පිටතම තීරුවට තල්ලු වී ඇත. එසේම මෙම යුගයේ ලියවැල් කීපයක් යොදා ගෙන ද ඇත. හින්දු ආභාසය හේතු කරගෙන විවිධ මෝස්තර හා අලංකරණය සිදු වී තිබුණ ද අනුරාධපුර යුගයේ සඳකඩ පහණ කලාත්මක බවින් හා ජීවමාන බවින් ඉහළ බව පෙනී යයි. 

පොලොන්නරු යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන පිරිවෙනේ ඇති සඳකඩ පහණ හතරැස් ආකාර ගන්නවා. මෙහි හංසාවලිය හා අර්ධ පද්මය පමණක් දක්නට ලැබෙනවා.


සඳකඩ පහණේ සන්නිවේදනාර්ථ  පිළිබඳ විවිධ පුදුගලයන් විවිධ අදහස් දරනවා. 
 
සඳකඩ පහණේ ඇති ලියවැල තුලින් තණ්හාව මුර්තිමත් වන අතර ලෝක සත්වයා තණ්හාව නැමති ලතාවෙන් බැඳී කම්සුව විඳින බවත් පෙන්නුම් කරයි. හංසාවලිය තුළින් තණ්හාවට පිටුපා ගිහිගෙය හැරයන ආර්යයන් පෙන්වන අතර හංසයා කිරෙන් දිය වෙන්කල හැකි සත්ත්වයෙක් බව පිළිගන්නා නිසා හොඳ නරක වෙන්කර ගත හැකි පුද්ගලයින් මේ තුලින් පිලිබිඹු වන බවත් පෙන්නුම් කරයි.

මෙහි කැටයම් කර ඇති පියුමෙන් ශුද්ධ වාසයක් වන බඹලොව පෙන්නුම් කරන බවත් රාග, ද්වේශ, මෝහ නම් වූ ගින්නෙන් පිළිස්සෙන ගිනිසිළු ආකාර පලාපෙති වලින් ලෝක සත්ත්වයා පෙන්නුම් කෙරෙනවා. ඇතා,අශ්වයා,සිංහයා,ගවයා ගෙන් ජාති ජරා ව්‍යාදී මරණ යන සතර භය පෙන්නුම් කරන අතර සතුන් හතර දෙනා කවය තුල නැවත නැවතත් කටයම් කිරීම තුලින් ලෝක සත්වයා ඉපදෙමින් මිය යමින් නැවත අඛණ්ඩව සසර පුරා ගමන් කිරීම සිදුකරන බව මේ තුලින් පෙන්නුම් කරන අතර දුක අවබෝධ කරගත් සත්ත්වයා කෙසේ හෝ නිවන් මාර්ගයට යන බවද මේ මගින් අදහස් වේ.

Sunday, 14 May 2017

ජන කවිය හා ජන සමාජය



කවිය අප රටේ ඉතා ජනප්‍රිය ජනශ්‍රැතික අංගයක්. අප අතර දැනට භාවිත වන ජනකවිවල ආරම්භය කවදා කෙසේ ඇති වූවක්‌ දැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකියි.   සිංහල කවියේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යන්නේ පොත පතේ ලේඛන ගතව ආ ශාස්‌ත්‍රීය කවියට වඩා කටින් කට ජනශ්‍රැතියේ ආ ජනකවිය පුරාණවන බවයි .ජනකවියේ බිහි වීම පිටිසර පාරම්පරික ගැමියන්ගේ මුඛ වහරෙන් සිදුව ඇති බව දැනට පිළිගෙන ඇති මතයයි.
ජන කවිය ගැමි කලාංගයකි.  ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් ජන කවිය තුළින් පිළිබිඹු වේ. හුදෙක්‌ දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමෙන්  කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසත් ගැමියන් විසින සාමූහිකව හෝ තනිව ජන කවි ගායනා කරන ලදි.
ජන කවිය බිහි වීමට බලපාන ප්‍රධාන සාධතය වන්නේ ගැමියා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් නිසා ජන කවිය තුළින් නිරෑපණය වන්නේ  සිංහල ජන ජීවිතයේ සංස්කෘතියයි.  
ඉර, හඳ, ගස් ,ගල්, ජලය, ගින්න දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි. සිංහල ජන සමාජයේ පවතින දේව වන්දනය ජන කවිය තුළින් ඉස්මතු වන අවස්ථාවකි මේ.

ඉරුට වැදලා ඉරුදෙවි අවසර                         ගත්තෙමි
සඳුට වැදලා සඳුදෙවි අවසර                           ගත්තෙමි
පොළොවට වැදලා මිහිකත අවසර               ගත්තෙමි
ගොයමට වැදලා නෙළුමට අවසර                  ගත්තෙමි

අතීත සිංහල ජන සමාජය තුළ කුල ක්‍රමය සමාජ තීරක සාධකයක් බවට පත් විය. තම කුලයට අයත්ව මිස පහත් කුලයන්හි කාන්තාවන් විවාහ කර නොගැනීම අතීත සංස්කෘතියයි. ජන කවියා ඒ බව සමාජ ගත කරන්නේ මේ ආකාරයටයි.
 
පල්ලව පඩත්තරු මුක්වරු ද      පරවරු
ඊවරුදුරා පදු කෙව්ලන් හා         හකුරු
බෙරවා රදා ඔලිකිනින්නරු ද     පුරවරු
මින් මිස තොපේ ලිය අරගන්නේ කවුරු

සමාජයක පැවැත්ම උදෙසා ලිංගික ප්‍රජනන කාර්යය වැදගත් වේ. අතීත සමාජයේ පවුල නමැති සම්මතය තුළ විවාහය ලෙස සලකන ලද්දේ ඇවැස්ස නෑකම මත සිදු වූ විවාහය යි. ඒ සඳහා ජන සමාජය තුළ යම් නීත්‍යනුකූල බවක් සමාජ පිළිගැනිම තුළින් ස්ථාපිතව තිබුණි. මේ නිසා නෑනාගේ අයිතිය මස්සිනාට පැවරෙන බව  අතීත සමාජයේ ප්‍රබල මතයක් හටගෙන තිබුණා. ඒ බව ජන කවියා පවසන්නේ මෙසේය.

වැසි දිය අයිති ගං හෝ ඇළ                    සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන                 බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ                           වැද්දාටයි
නෑනා අයිති කාට ද                             මස්සිනාටයි

අතීත සමාජය තුළ විවාහ ක්‍රම කීපයක් තිබුණි. ඒ අතරින් බින්න විවාහ  ක්‍රමය අනුව පුරුෂයා මනමාලියගේ ගෙදර පදිංචියට පැමිණේ. මේ ක්‍රමය දේපළ පාලනය කිරීමේ අවශ්‍ය තත්ත්වය නිසා, ඇතිවූවකි. එසේ වුවත් බින්න විවාහය ස්‌ත්‍රියට යටත්වීමේ ක්‍රමයකැයි සලකන පහත රට ජනයා එය ආත්ම ගෞරවයෙන් යුත් තරුණයෙකුට තරම් නොවෙතැයි හෙළාදකී. එසේ විවාහ වූ තැනැත්තා නැන්දනියගේ යටතේ සිටිය යුතුය. මෙය තවත් ප්‍රශ්නයකට තුඩු දෙන කාරණයකි. බින්න විවාහයක්‌ කරගන්නා තැනැත්තා විඳවන අයුරු ජන කවියා මෙලෙස දක්වයි.

අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට
බින්න මඟුලකට බහදී මෙමා       හට
සැමියා ලෙසට උනි අඹුවත් එදා     සිට
උපන් රටට යැමට දැන් සිතෙයි      මට

රැය පුරා පතල් දෝනා තුළ අපමණ වෙහෙස වී වැඩ කරන ගැමියන්ට රාති‍්‍රය ඉතා දිගු වූවක් ලෙස පෙනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළිබඳ අපේක්‍ෂා ඔවුන්ගේ සිත් තුළ ලියලන්නේ එබැවිනි. එහෙත් හිරු පායන්නට පමා වීම ඔවුන්ගේ නොමනාපයට හේතු වූ අයුරු ජන කවියා ව්‍යංගයාර්ථවත් ව පළ කරන්නේ මෙසේ ය.
 

සූරිය සුනෙර වට දෙවරක්          ගියාදෝ
සූරිය යනෙන රත ඇණ       ඉගිලුණාදෝ
වීරිය කරන රාහුට අසු             වුණාදෝ
සූරිය උදා නූනේ එම නිසා                දෝ

එම සමාජය තුළ ජීවත් වූ පතල් රැකියාව කරන ගැමියන්ගේ ජීවිත පිළිබඳ ඉස්මතු කරන ජන කවියකි. බලවත් දුක් කම්කටොලු උසුලමින් ගැමියා ගෙවන දිවිය මෙමඟින් සංකේතාර්ථවත් ව පළ කිරීමට ජනකවියා පොහොසත් වී ඇත.

අතීත ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කුරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය. එබැවින් සියළු ගැමියන් උත්සහ කළේ තම වී බිස්සත් කුරහන් අටුවත් පුරවි ගැනීමවයි.  ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ගැමියාගේ  ආහාර පිළිබඳව කියැවෙන ජන කවියකි.

යල් කන්නේ වී පෑලයි මම               ඉස්සේ
ඒකෙන් අමුණු හතරයි බැන්දේ       බිස්සේ
කන්නය බලා නවදැලි හේනට        බැස්සේ
කුරහන් අටුව පුරවන්නයි ඒ            අස්සේ

කුසගින්න