Saturday, 10 June 2017

‍දේශීය ආහාර රටාවට මොකද වුණේ?



දෙල් , කොස් , බතලකුරක්කන් ,තල , මුං , උඳු , මෙනේරි , කවුපි වැනි දේශීය ආහාර සමග සැකසුන අපේ ආහාර වට්ටොරුව අතීත මිනිසා නීරෝගී පුද්ගලයෙකු බවට පත් කිරීමට සමත් විය.  කුරක්කන් පිට්ටු සමග  මුං මැල්ලුම හා වැව්මාළු ව්‍යංජනේක රස නොබැලූ කිසිවකු මීට වසර දහයකට පෙර අපේ ගම් වලින් සොයාගත නොහැකිය. වස විසෙන් තොර එවැනි දේශිය ආහාරවලින් පෝෂණය වන පුද්ගල ශරීර බෝ නොවන  රෝගයකට ගොදුරු වූයේ ඉතාම අල්ප වශයෙනි.
ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමේ ප්‍රතිශක්තීකරණ බලය එම ආහාරවලට නිපදවීමේ හැකියාවක් පැවතිණි. අතීත මිනිසාගේ ආයු කාලය අවුරුදු 80-90 දක්වා පැවතීමට බලපෑ ප්‍රබල සාධකය වූයේ දේශීය ආහාර වට්ටෝරුවයි.
කොස්, දෙල් , බතල වලට සීමා වූ අපේ ආහාර වට්ටෝරුව අභිබවා නැඟී සිටි විදේශීය ආහාර සංස්කෘතිය දේශීය නිරෝගී පුද්ගලයා හට වස දෙන්නට විය. මේ පිළිබඳ නිසි තතු නොදත් දේශීය ජනතාව රැල්ලට යන විදේශීය  ආහාර සංස්කෘතිය ඉතා සතුටින් ඔඩොක්කුවට කොටා ගත්තේ කිසිදු විමසීමකින් තොරවය.

ක්ෂණික ආහාර, පිසින ලද ආහාර , විවිධ රස කාරක හෝ වර්ණක යෙදූ ආහාර , විවිධ බීම වර්ග වටා ගොඩනැගුණ වෙනම ජනප්‍රිය සංස්කෘතියක් ඇති කිරීමට සමත් වූ විදේශීය ආහාර වර්තමානය වන විට ලාංකීය තරුණ පරපුර අතර කුරක්කන් තල මෙනේරි නොහඳුනන පරපුරක් බිහි කිරීමට සමත් වීය.
මේ හේතුවෙන් ලංකාව අද වන විට බෝ නොවන රෝග 
ලෙස හඳුන්වන දියවැඩියාව,  රුධිර පීඩනය(අඩු/වැඩි)  , පිළිකා, හෘද්‍යාබාද, කොලෙස්ට්‍රෝල් වැනි මිනිසා විනාශ කිරීමට හැකියාව පවතින ලෙඩ රෝග වලින් පෙළෙන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. අඩු වයසින්ම මෙවැනි රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර මිනිසාගේ ආයු කාලය පෙරට වඩා පහළ මට්ටමකට පැමිණ තිබේ.

මෙයට මූලිකවම වග කිව යුත්තා මාධ්‍ය යැයි මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මක්නිසාද යතොත් විදේශීය ආහාර සංස්කෘතික බීජය ලංකාව තුළ වපුරන්නට මූලික වූයේ මාධ්‍යයි. වාණිජ පරමාර්ථ මුල්කරගනිමින් සිදු කළ ඒ ප්‍රචාරණ තුළින් ශ්‍රී ලාංකීය පුරවැසියා එය ඉස් මුදුනින් පිළිගෙන අනුගමනය කරන්නට විය.
  එබැවින් සිදු විය යුත්තේ දේශීයත්වය අගය කරමින් අතීතයේ මෙන් කොස් දෙල් කුරක්කන් වැනි දේශීය ආහාර මත යැපෙන ආහාර සංස්කෘතියක් රට තුල ඇති කිරීමයි. මිනිසා නිරෝගී වීම තුළින් නුදුරේදීම සංවර්ධිත ශ්‍රී ලංකාවක් වෙත පිවිසීමට හැකිවනු නියතය.

           

Thursday, 8 June 2017

මග බලමි ගිමිහානයට























සංසාර පුරුද්දට මුණ ගැසී
වෙන් වුණේ අපි අපෙන්
දුකම මට හිමි නිසා................

හිනා වෙන්න හිතුවත්
කඳුල ඔච්චම් කරයි
නුඹ ගැනම මතකයෙන්........

නිමා වූ වසන්තය
හිත් කොනක ගුලි කරන්
මග බලමි ගිම්හානයට.........

Wednesday, 7 June 2017

අනුබුදු මිහිදු හිමි ලක්දිවට වැඩමකළ පොසොන් පොහොය



වෙසක්‌ පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුවන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද, පණ්ඩුක උපාසක ද ලක්දිවට වැඩම කර බුද්ධාගම ස්ථාපනය කිරීම හේතුවෙන් මෙරට ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් විශාල පෙරළියක් සිදු විය. යක්ෂ, භූත, ප්‍රේතයන් හට බියෙන් බිළිපූජා පවත්වමින්, අප්‍රාණික සුවිශල් ගස්, ගල් වලට වන්දනාමාන කල යුගයක සපැමිණි මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස නිර්මල බුදුදහම ලංකාදීපයෙහි ස්ථාපිත කෙරුණු  ඓතිහාසික සංධිස්ථානය සිහිකරනු වස් සෑම වසරකම පොසොන් පොහොය දින වත්පිළිවෙත් සිදුකරනු ලබයි.

ඉන්දියාවේ සිට මෙහි වැඩම කළ මිහිදු හිමි  ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙකි. ධර්මාශෝක රජතුමා රටවල් 9 කට ධර්ම දූතයන් පිටත්කර හැරීමේදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ධර්ම දූතයා තම පුත් මිහිඳු බවට තීරණය කිරීම ලක්‌වාසීන්ට කරන ලද මහත් ගෞරවයකි. අනෙකුත් ධර්ම දූතයෝ ඒ ඒ දේශවලට වහා පිටව ගිය නමුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට එසේ වැඩම කළේ නැත.


මිහිඳු හිමියෝ ධර්ම දූත මෙහෙවර පිණිස ලංකාවට පැමිණීමට පෙර මෙරට දේශපාලනය, සමාජ තත්ත්වය හා ආගමික වටාපිටාව හොඳින් නිරීක්‍ෂණය කළහ. ඒ අනුව මහලු මුටසීව රජුගෙන් පසු තරුණයකු රාජ්‍යත්වයට පත්වනතුරු මිහිඳු හිමියන්ගේ ආගමනය පමා විය. මහළු මුටසීව රජුගෙන්න පසු ඔහුගේ පුත් දෙවන පෑතිස් රජුගේ පාලන සමය තුළ ලංකාවට වැඩම කළ මිහිදු හිමියන් දේවානම්පියතිස්ස ඇතුලු පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුනි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැළකේ. ධර්මාවබෝධය තුලින්  බුද්ධ ධර්මය කෙරෙහි සිත නැඹුරු කරගත් තිස්ස රජු ඇතුලු රාජකීයයන් බුද්ධාගම වැලඳගැනීමත් සමගම ගම් නියම්ගම් පුරා බුදුදහම ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් ජනතාව ඈත්කරවමින් සුමගට යොමු කරවීමට සමත් විය.

Friday, 2 June 2017

පැමිණීම හා ගෙන්වාගැනීම

පසුගිය දිනවල ඇද හැලුණ වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට අයහපත් ලෙස බලපාල තියෙනවා. ඇති වූ නායයාම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වුණා. ජීවිතය කාලය පුරාවට හරිහම්බ කරගත් දේපළ මෙන්ම තම ඥාති හිත මිතුරන්ද පස් කඳුවලට හා මහා ජල කඳට යට වී විනාශ වී ගොස් හමාරය.
 රටේ කුමක් හෝ සිදුවීමක් සිදු වූ විට ඒ පිළිබඳව විවිධ අදහස් දක්වන විවිධ පිරිස් ඉන්නවනෙ. එවැනි වූ එක් පිරිසකි මේ ගංවතුර හා නායයාම් තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කරන්නේ රටේ පිලකයන් ලෙස පත් වූ පුද්ගලයන්ගේ පවතින දෝශයන් නිසා ගංවතුර පැමිණි බවයි. එවැනි අදහස් දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීමට දඟලන පිරිස් අතරේ ගවත් පිරිසක් පවසන්නේ මෙය දේව කෝපයක් නිසා සිදු වූ විනාශයක් බවයි.

සිංහල ජාතියට බෞද්ධ ආගමට සිදු කරන අකටයුතුකම් , කෙනෙහිලිකම් නිසා රට රකින දෙවියන්ගේ කෝපවීමක් නිසා ගංවතුර පැමිණි බවයි. මේ නිසා දෙවියන්ට දෙස් දෙවොල් තියයි. අත් වී තිබෙන තත්ත්වය සමනය කරන මෙන් දෙව්යන්ගෙන් ඉල්ලයි. කන්නලව් කරයි.
කෙසේ හෝ සියලු දේ සිදු වී හමාරය. දහස් ගණනක් අනාථ වී ඇත. උන්හිටි තැන් අහිමි වී ඇත. ප්‍රියයන්ගෙන් වෙන් වී ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී ඇත.

ගංවතුර පිළිබඳ විවිධ අදහස් දක්වන පිරිසට කිව යුත්තක් තිබේ. ගංවතුර පැමිණියා නොව අප විසින්ම ගංවතුර ගෙන්වාගෙන ඇත. නායයාම් තත්ත්වයන් අප විසින්ම ඇතිකරගෙන තිබේ.
අප සියළු දෙනා ස්වභාධර්මයට යටත් පුද්ගලයන්ය. ස්වභාධර්මයට අභියෝග කරමින් ස්වභාවධර්මය අභිබවා යාමට දරන උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්වයන් ඇති වී තිබේ.

මෑතකාලීන මිනිසුන්ගේ අරමුණු කරා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වන විනාශයක් සිදුව තිබේ. ස්වභාවිකව පැවතුණ වගුරු බිමි ගොඩ කරමින් නව ගොඩ කරමින් නව ගොඩනැගිලි , මාර්ග ස්ථාපිත කර ඇත. ගංගාවල වැලි අනිසි ලෙස ඉවත් කර තිබේ.

පරිසරයේ ආරක්ෂාවට ස්වභාවධර්මය විසින් නිර්මාණය කර ඇති දේ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගංවතුර හා නායයාම් ඇති වී තිබේ. සිදු වී ඇත්තේ දෙවියන් කෝපවීමක් නොව කළ කම් පළ දීමක්ය. ගිය නුවණ ඇතුන්ලවාවත් ඇද්දවිය නොහැකිය.අනාගතයේදීවත් සිහිනුවණ කල්පනාවෙන් තටහුතු කළ යුතුය. නැතහොත් අනාගතයේ දී මෙයට වඩා භයානක ආපදාවන්ට ගොදුරු වීමට සිදුවනු නියතය.


                                                          ඉරේෂා නදීශානී


Sunday, 28 May 2017

දෙවියො දුන් දඬුවමද





















තේ කෑල්ලෙන් ලැබෙන
තුට්ටු දෙක පිරිමහන්
හදාගත් මගෙ ගෙපැළ
බිලි අරන් ගංවතුර

හතර පෝයටම මං
සිල් ගත්තා පන්සලේ
බැරි වුණිද ඒ පිනට
වළකන්න ගංවතුර

කෙළීගේ කල වයස
හරි නිසා දීගෙ දෙන
ගත්තා අල්මාරියක්
ඒක දැන් තෙමිල ඇති

කතරගම දෙව්ඳුනේ
නොපෙනේද අපේ දුක
අනුන් දේ නොගත්තට
දෙවියො දුන් දඩුවමද

                                                      ඉරේෂා නදීශානී

Saturday, 27 May 2017

අම්මා....

අම්මා......






















කුසට අහරක් නැතත්
කුසගිනි නිව්වා මගේ
ගතට වැරහැලි ඇඳන්
සැරසුවා ගත මගේ

සඳ සාවිය නොනිදා
මුලු ලොවම නිදනා රැයේ
මා හින්දා නිදි වැරුවා
සීතලේ පන් පැදුරේ

මහමෙරකි නුඹෙ සවිය
පින් කෙතකි සෙත සදන
ඉපිද මිය යන තුරුම
පතන්නෙමි මා නුඹව

Wednesday, 24 May 2017

ඉමිටේෂන් හීන දරුවන්ට එපා




ජීවිතයේ හැම දෙයක්ම දැන් රේස් එකක් වෙලා. ඒකේ අවසානයක් පේන තෙක් මානයකවත් නෑ. හැමෝම දඟලන්නේ රේස් එකේ ඉස්සරහින්ම දුවන්න.තමන්ට දුවාගන්න බැරි උනොත් තමන්ගෙ දරුවව හරි ඒ රේස් එකට දක්කන්න අම්මල පසුබට වෙන්නෑ. දැන් ඉන්න අම්මල තාත්තලගෙ ලොකුම හීනෙ තමන්ගෙ දරුවව රේස් එකේ ඉස්සරහින්ම ඉන්නව දකින එක. ඉතින් ඒකට අම්මල නොකරන දෙයක් නෑ මුලින්ම කරන්නෙ දරුවව ටියුෂන් කඩවලට කොටු කරන එක'

දැන් ඉන්න ළමයිට කන්න බොන්න වෙලාවක් නෑ. අම්මගෙ තාත්තගෙ ආදරේ විඳින්න වෙලාවක් නෑ. සමවයසෙ යාළුවො එක්ක එකතු වෙලා එලියෙ දුවල පැනල සෙල්ලන් කරන්න වෙලාවක් නෑ. ටියුෂන් කඩ ඇතුළෙ හිර වෙලා අම්මලට ළඟා කරගන්න බැරි වුණ හීනවලට ළඟා වෙන්න උත්සහ කරනවා. එදා ගමේ තිබුණ සෙල්ලං අද උන් අහලවත් නැතුව ඇති. ගමේ දුනල පැනල සෙල්ලං කරපු ළමයි වෙනුවට අද ඉන්නෙ  කම්පියුටර් ගේම් , ස්මාර්ට් ෆෝන් එකෙන් සන්නද්ධ වූ ළමුන් පිරිසක්.

ළමයිගෙ ලෝකේ ළමයින්ට අහිමි වෙලා තියෙනවා.ළමයිගෙ ලෝකෙ ටියුෂන් කඩ ඇතුලෙ පරවෙලා යනවා. පාසලෙන් පසුව ටියුෂන් පන්තියට ගොස් 6-7 වන විට තඩි බෑග් එකක් උස්සගෙන බඩ ගාගෙන ගෙට ගොඩ වෙන යාන්ත්‍රිකයෙක් අද ඉන්නෙ. රාත්‍රී ආහාර වේලෙන් 10-11 වෙනකම්ම ගෙදර වැඩ කරන ඔහු අයෙත් උදෑසන 4 න විට අවදි වන්නෙ නගරයේ කිලෝමීටර ගණනක් එහායින් වූ ජනප්‍රිය සුපිරි පැලැන්තියේ පාසලට යාමටයි.
ජීවිතයේ විඳින්න අවශ්‍ය කාලය ව්ඳවමින් ගත කරන්න  ළමයින්ට අද සිද්ධ වෙලා තියෙනවා. ළමයි හරියට යන්ත්‍ර සූත්‍ර වගේ. ටික දවසක් ය්ද්දි අම්මා හඳුනනෑ තාත්තා හඳුනන්නෑ ආගම දහම හඳුනනෑ, උන් සමාජයට ගියාම උන්ටදාව උපදින දුව පුතා හදුනන්නෑ. 

අද සමාජෙට උදාවෙලා තියෙන මේ තත්වෙ හේතුව සමාජ යථාර්ථයට මුහුණ නොදී රැල්ලට මුහුණ නොදී රැල්ලට යාමයි.දරැවකුගේ ළමා කාලය දරැවකුට විඳින්න දෙන්න ඔන. එවිටයි දරැවා ශික්ෂණයකින් ජීවත් වෙන්න ඉගෙන ගන්නෙ.
රැල්ලත් එක්ක ගහගෙන එන ඉමිටේෂන් හීන අහිංසක දරුවන්ට බලෙන් පළන්දවන්ට කරන වෑයමට තිත කියන්න කාලය උදා වෙලා.



                                                                               ඉරේෂා නදීශානී


                          

කුසගින්න